Tuesday, February 6, 2018

රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට්



ලන්ඩන් සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ අදහස් දැක්වීම් පළවෙමින් තිබේ. විටෙක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු හමුදා නිලධාරියා අගයමින් ද තවත් විටෙක ඔහුගේ ක්‍රියාව විවේචනය කරමින් ද අදහස් පළ වී තිබිණි.

රාජ්‍ය තාන්ත්‍රිකව ගත් කළ හමුදා නිලධාරියාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි නොහබිනා, අශීලාචාර සහ මිලේච්ඡ ක්‍රියාවකි. එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ සාමාජිකයකු පිහියක් හෝ වෙනයම් හෝ ආයුදයක් ගෙන නිරායුධ මිනිසකුගේ බෙල්ලට තබාගෙන සිටිනවා හා සමාන ක්‍රියාවකි. අනෙක් අතට හමුදා නිලධාරියකු මෙවන්නකින් අඟවන්නේ සතුරාට නියත වශයෙන් මරණය හිමි බවය. යුද පිටියකදී සතුරා අභිමුව කළ යුත්තක් විදේශයක මහ කොමසාරිස් කාර්යාලයක නිලධාරියකු වශයෙන් සිටියදී විරෝධතාවක නියැලෙන නිරායුධ මිනිසුන් පිරිසක් ඉදිරියේ කරන්නට යෑම අමානුෂීය හා මිලේච්ඡ ක්‍රියාවක් හැරෙන්නට අන් යමක් නොවේ.

හමුදා නිලධාරියා කරනුයේ ඉංග්‍රිසි බසින් throat slitting/slash යනුවෙන් හඳුන්වන ගෙල සිඳින අභිනයකි. එසේත් නැතිනම් හිසත් කඳත් වෙන් කරන බව කියන අභිනයකි. මේ අභිනය රග්බි ක්‍රීඩාවේදී වඩාත් හුරුපුරුදු අභිනයකි. නවසීලන්ත කණ්ඩායම රග්බි තරගයක් ආරම්භ කිරීමට පෙර රඟ දක්වන Haka හකා නර්තනයේදී මේ හමුදා නිලධාරියාටත් වඩා හොඳින් ක්‍රීඩකයෝ රඟවති. හකා යනු යුද නැටුමකි. යුද පිටියේ, ක්‍රීඩා පිටියේ කරන දෑ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී,
ලෝක දේශපාලනයේදී නොකළ යුත්තේය.


රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී ඒ ප්‍රමිත පවත්වා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික විය යුතුය. යුද්ධය අවසන් වී වසර නවයක් ගෙවී යන මොහොතේදීත් තවමත් අප ජාත්‍යන්තරයේ පීඩනයට පත්වෙමින් සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතු තැන්වලදී රාජ්‍ය තාන්ත්‍රික නොවීම නිසාය. රටේ දමන චණ්ඩි පාට් ලෝකය හමුවේ දමන්නට යෑම නිසා නිවැරැදි ලෙස යුද වැදුණු හමුදා නිලධාරීන් පවා චෝදනාවලට ලක්වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රී රනිල් ආණ්ඩුව ද රාජ්‍ය තාන්ත්‍රිකව හැසිරිය යුතු තැන්වලදී ගමේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කිරීමට යෑම නිසා, අහක යන කුණු ගොඩක් රටට ගෙනැවිත් තිබේ. හමුදා නිලධාරියාගේ ක්‍රියාවද ඊට නොදෙවැනි වන්නේය. ඔහු හුදෙක්ම කරනුයේ උද්ඝෝෂණය කරන පිරිසට අවැසි දෙයක් මිසක ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කළ යුතු ක්‍රියාවක් නොවන්නේය.



රටේ බහුතර ජනතාවට, සාමාන්‍ය ජනතාවට සිංහල බසින් වහසි බස් දෙඩවීම හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ද කරමින් සිටින්නේය. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතරම් අර්බුදයකට පත්ව සිටින්නේ හමුදාවේ ක්‍රියාකලාප නිසා නොව පසුගිය ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේ වැරැදි විදේශ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාප නිසාය. අනෙක් අතට වඩාත් පැහැදිලි කරුණක් වනුයේ යුද අපරාධ චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. යුද නැව් විනාශ කළ නාවික හමුදාවට හෝ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉලක්ක වෙත පහර දුන් ගුවන් හමුදාවට නොවේ. එසේ යුද අපරාධ චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුව යුද්ධයට මුවා වී තමා පටු දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් හමුදා නිලධාරීන්, සෙබළුන් මෙහෙය වූ දේශපාලකයන් නිසාය. ඒ සම්බන්ධයෙන් වෙනමම කතා කළ යුතුය. අනෙක් කරුණ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිරත වූයේ කවුරුන්ද යන වගය.



එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් එම සංවිධානයේ මතවාදය තවමත් ඇතැම් කොටස් සතුව ව්‍යාප්තව තිබේ. එම සංවිධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මකය. වෙනත් ඕනෑම සංවිධානයකට මෙන්ම එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ජාලයේ එසේත් නැතිනම් එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර සංවිධානවලට ඔවුන්ගේ පැවැත්ම සඳහා හේතු අවශ්‍ය. මාතෘකා අවශ්‍ය. සිදුවීම් අවශ්‍යය. හමුදා නිලධාරියා ගෙල සිඳින අභිනයක් කරමින් ඔවුන්ට හේතුවක් සාදා දුන්නේය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ පැවැත්ම ඇත්තේ ඊලාම් භූමියක් යන මතවාදය තුළය. දෙමළ ජනතාව පීඩා විඳින බව කීම තුළය. වෙනම රාජ්‍ය සංකල්පය, මානව හිමිකම් යන මාතෘකා තුළය. ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ ජනතාව ඝාතනය කළ බව කීම සහ එසේ කළ බවට හේතුසාධක, සාක්ෂි තොරතුරු ලෝකය හමුවට ගෙන ඒම තුළය. හමුදා නිලධාරියා ඔවුන්ට එසේ හේතුවක් සාදා දී තිබේ.



මෙවැනි විරෝධතාවලට පිළිතුරු දිය යුත්තේ ගෙල සිඳින බව අභිනයකින් දැක්වීමෙන් නොව රාජ්‍ය තාන්ත්‍රිකවය. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි දෙමළ ජනතාව හරහාය. උතුරේ සහ නැගෙනහිර පළාත්වල ජනතාව හරහාය. උතුරේ හා දකුණේ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති, ඉඩම් නැවත ලබාදීම්, රට තුළ ක්‍රියාත්මක සංහිඳියාව වර්ධනය කිරීමේ වැඩසටහන්, උතුරේ දරුවන් දකුණේ දරුවන් එක්ව කරන ‘මදර් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහන් පිළිබඳ ලෝකයට කීමෙනි. අනෙක් අතට එවැනි දෑ සඳහා ඩයස්පෝරාව එකතු කරගැනීම ද අත්‍යාවශයෙන් ම කළ යුත්තේය. ඩයස්පෝරාව යනු ශ්‍රී ලංකාවේ ජනතාව මහත් භීතියට පත් කරන වචනයක් බවට පත්ව තිබේ. ඩයස්පෝරාව යනු රටක සිටින විදෙස් ජනකොට්ඨාශය. ඒ නිසා ජාත්‍යන්තර පිළිතුරු දීමට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වාර්ගික ජනකොටස්වලින් සැඳුම්ලත් ශ්‍රී ලංකා ඩයස්පෝරාව එකතු කරගැනීමෙනි. ඕනෑම රටක සැලකිය යුතු ශ්‍රී ලංකා ඩයස්පෝරාවක් සිටියි.

හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසගේ එක් තර්කයක් වී තිබෙන්නේ අයි.එස් සංවිධානයට සහාය දක්වන පිරිසක් ඇමෙරිකා තානාපති කාර්යාලයක් ඉදිරියේ සිටින අවස්ථාවක ඇමෙරිකා හමුදා භටයෙක් ඔවැන්නක් කළොත් කුමක් වේවිද යන්නය. ඊට සරල පිළිතුර ඇමෙරිකාව මානව හිමිකම් කඩ කරනවා, ඒ නිසා අපිත් මානව හිමිකම් කඩමුද යන්නය. ඇමෙරිකාව යනු ඇමෙරිකාවය. ශ්‍රී ලංකාව යනු ශ්‍රී ලංකාවය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක දේශපාලනයේ බලවතාය. යුදමය, දේශපාලනමය මෙන්ම ආර්ථිකමය වශයෙන් ලොව බලවතාය. එහෙත් ශ්‍රී ලංකාව එසේ නොවේ. එසේ බලවතකු නොවූ පමණින් නිවට නියාලුව, බියගුළුව කටයුතු කළ යුතු නොවේ. එහෙත් අවශ්‍ය වන්නේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියකි. සිංහල බසින් රටේ ජනතාවට වහසි බස් මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන් නොව විදේශයකදී සෘජුව අදහස් දැක්විය හැකි, නායකයන්ය. ආණ්ඩු මාරුවන වනවිට විදේශ ප්‍රතිපත්ති නොවේ. අපට සිටි එවැනි එකම නායකයා ලක්ෂ්මන් කදිරගාමයර්. ඉන්පසු ඒ ආසන්නයට හෝ පැමිණියේ නම් ඒ මංගල සමරවීරය.


එම නිසා මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවිය යුතුය. වඩාත් වැදගත් දරුණුතම දුර්වලතාව අපට නිශ්චිත විදෙස් ප්‍රතිපත්තියක් නොමැතිකමය. හැම අතින්ම මෙන්ම අපි විදේශ ප්‍රතිපත්තිය අතින් ද දුර්වලය. වඩාත් මුල් තැන දෙනුයේ සංවේදීතාවලට, මැතිවරණවලට, ගමේ චණ්ඩි පාට්වලට සහ ජනප්‍රියතාවදායටය. එහෙත් අපට අවශ්‍ය වනුයේ එවැන්නක් නොවේ. ශක්තිමත්, ස්ථීරසාර, ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තිය. රටේ අභිමානයට මුල් තැන දෙන රටේ ජාතික ලැදියාවන් ආරක්ෂා කරන අතරම ජාත්‍යන්තරයට ගරු කරන ජාත්‍යන්තර ප්‍රතිපත්ති, ප්‍රඥප්තිවලට අනුකූල, රාජ්‍ය තාන්ත්‍රිකභාවය ආරක්ෂා කරන විදේශ ප්‍රතිපත්තියකි. එම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ ද හදවතින් නොව මනසින් විමසා කටයුතු කරන පක්ෂ දේශපාලනයට ගැතිකම් නොකරන, සෘජු, උගත්, බුද්ධිමත්, රාජ්‍ය තාන්ත්‍රිකයෝය. අපට නැත්තේම එවැන්නෝය.

මංගල සමරවීර මහතා සහ ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ඡායාරූප අයිතිය gettyimages
https://www.gettyimages.com/detail/news-photo/sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-news-photo/94875253#sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-lanka-right-picture-id94875253

අනෙක් ඡායාරූප අන්තර්ජාලයෙනි

හර්ෂණ තුෂාර සිල්වා
07.02.18

Saturday, February 3, 2018

ආදරණීය වික්ටෝරියා ගැන ආදරයෙන්

කියවන පොත් ගැන සටහනක් තැබීමට නිරන්තරයෙන් සිතාගෙන සිටියත් එය කිසිදු අවස්ථාවකදී මෙතෙක් කලක් ඉටු නොවුණු බලාපොරොත්තුවක් විය. කෙසේ නමුත් මේ වසරේදීවත් කියවන පොතක් ගැන එක ඡේදයක් හෝ ලියා තබන බවට කරගත් අදිටන අද කූඨප්‍රාප්ත වී තිබේ. බ්ලොග් අඩවියේ මුලින්ම ලියන්නට සිතුනේ ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත ගැනය. පසුගිය වසර කිහිපයේදී මට වඩාත් සමීප වූ පොත් කිහිපය අතර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං හා කුරුළු හදවතට හිමිවන්නේ මුල් තැන බව නොකිවමනාය. ඒ තැනට තවත් අලුත් පොතක් එක් කළ හැකිය. ඒ මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා කෘතියයි.

මා සටහන ලිවීම ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 4 උදා වීමට පැයක් තිබෙන මොහොතකය. හෙට උදා වන්නේ ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස යැයි කියති. නිදහස ලැබුණාද, නිදහස දිනාගත්තා ද , සුද්දා රට දාලා ගියා ද ? නිදහස හරියටම ලැබුණේ 1972 වසරේදී කියා තෝරා බේරා ගන්නට බැරි රටක අපි ජීවත් වන්නෙමු. එහෙව් රටක තීරණාත්මක කාල පරිච්ඡේදයක් ගැන මොහාන් අපුරූවට ආදරණීය වික්ටෝරියා හි ලියා තබා තිබේ.

බි්‍රතාන්‍ය පාලනයත්, බි්‍රතාන්‍ය පාලනයෙන් උරුම වූ දෑ නිසි පරිදි ගලපා ගැනීමට නොහැකි වීමත්, බඩජාරී කමට කෑ දෑ දිරවා ගත නොහැකි තත්ත්වයත් පොතේ අපුරූවට ලියා තබා ඇත. අද වනවිට ලංකාවේ තිබෙන සමාජ, සංස්කෘතිමය හා ආර්ථිකමය මෙන්ම ආකල්ප හා සිතුවිලිවලට සුවිශේෂී බලපෑමක් කරන ලද කාලසීමාවක් ලෙෂ බි්‍රතාන්‍ය පාලන කාලයත්, එයිනුත් වික්ටෝරියානු රැජින යටතේ පැවති බි්‍රතාන්‍ය පාලනයත් විශේෂයෙන් පෙන්වා දිය හැකිය.

වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී බි්‍රතාන්‍ය තුළ සමාජ, සංස්කෘතික, ආර්ථිකමය , දේශපාලනමය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ අතර එහි බලපෑම එවකට බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවති ලංකාව වැනි කොලනිවලට ද තදින්ම බලපෑවේය.

වික්ටෝරියානු සුචරිතවාදය, වික්ටෝරියානු සංස්කෘතිය, වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වනුයේ වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී සිදු වූ සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණය, වෙනස්කම්. එම ප්‍රතිසංස්කරණ එසේත් නැතිනම් වෙනස්කම්වලින් පසු එඞ්වඞ් රජුගේ යුගය ආරම්භ වූ අතර ඉන් පසු වත්මන් දෙවැනි එළිසබෙත් රැජිනගේ කාලය වනතෙක් දක්වා පැමිණ තිබේ. මෙම යුගවලදී බි්‍රතාන්‍ය වික්ටෝරියානු ප්‍රතිසංස්කරණවලට බොහෝ දුර ගොස් තිබේ. බි්‍රතාන්‍ය අද වනවිට බොහෝ දුරක් පැමිණ ඇතත් ශ්‍රී ලංකාව තවමත් පය දෙතැනක තබාගෙන සිටියි. බි්‍රතාන්‍ය තුළ නූතන තත්ත්වලට ගැලපෙන අයුරින් බොහෝ ප්‍රතිසංස්කරණ සිදුව තිබේ. තාක්ෂණය අතින් ඔවුන් බොහෝ දුර ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇතැම් නීතිරීති බි්‍රතාන්‍ය පාලන සමයේදී, විශේෂයෙන්ම වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී පැනවූ නීතිරීති වීම ඊට හොඳම උදාහරණයයි. එය මෑතකදී වඩාත් හොඳින් දක්නට ලැබිණි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම තහනම් කරමින් බි්‍රතාන්‍ය පාලනයේදී පනවන ලද නීති තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කිරීමට ඊට කදිම උදාහරණයකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් බි්‍රතාන්‍ය ඉදිරියට යද්දි, කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් බි්‍රතාන්‍ය පාලන සමයේදී පනවන ලද නීතිරීති වෙනස් කර අදට ගැලපෙන සහ රටට ගැලපෙන නීතිරීති සකස් කිරීමට වත්මන් පාලකයන් පවා අසමත් වීම වික්ටෝරියානු බලපෑම කොතරම් තදින් සිදු ව ඇත්දැයි පෙනී යයි.

පෘතුගිසී, ලන්දේසි සහ බි්‍රතාන්‍ය පාලන සමවලට පෙර ලංකාවත්, එම පාලන සම සහ බි්‍රතාන්‍ය පාලනයෙන් පසු 1948 සිට 1972 දක්වාත් ඉන් පසු අද දක්වා කාලයත් බැලීමේ දී රටක් ලෙෂ අසාර්ථකවීම, කඩාවැටීම මනාව අවබෝධ කරගත හැකිය. වික්ටෝරියානු රැජිනගේ පාලනයේදී ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ, ආර්ථික සිදුවීම් මනාව පෙන්වාදෙන මොහාන් , තම කෘතියේ එක් තැනක මෙසේ සඳහන් කරයි.

“ඔය ධර්මපාල සිංහල මිනිසුන්ගේ නිදහස සීමා කරලා හදන්ඩ හදන සුචරිතවත් සමාජයම තමයි, වික්ටෝරියා මහ බිසවුන්නාන්සෙත් ඒ විදිහටම හදන්ඩ බලාපොරොත්තු වෙන්නේ.....”

පෘතුගිසී, ලන්දේසි සහ විශේෂයෙන්ම බි්‍රතාන්‍ය පාලනයත්, එම පාලන සමයේ වික්ටෝරියානු පාලන සමයේදීත් අපට සිදු වූ ඛේදවාචකය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අපේ සංස්කෘතිය , අපේ කම අපේ ශක්තීන් මොනවාදැයි හඳුනාගැනීමට නොහැකි වීමය. අපට අපගේ අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවීම මෙහි ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිහි වූයේ මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයකි.

මොහාන් ආදරණීය වික්ටෝරියා අවසන් කරන ආකාරය ගැන මට ඇත්තේ අපිළිවෙළ ගතියකි. එහෙත් එම අපිළිවෙළ, එම අවසානය ශ්‍රී ලංකාවේ වත්මන් මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයේ ආරම්භය සනිටුවහන් කරයි. කෘතියේ අවසානයේ සඳහන් වනුයේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ උපතය. බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් ඔහු මහත් විනාශයක් රටට අත්කළ බව මාගේ විශ්වාසයයි. තමන්ගේ දරුවන් ඉංග්‍රිසි බසින් ද අකුරු කරද්දි, රටේ අනෙක් දරුවන්ට තිබූ එම අවස්ථාව අහිමි කිරීමේ ප්‍රතිවිපාක අපි අද හොඳින් අත් විඳින්නෙමු.

ආදරණීය වික්ටෝරියා මෙසේ අවසන් වෙයි.

“කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ  අතිශයින්ම කුලුපග සේවකයකු වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කිහිපයකට පසුය”.

ඉන් වසර 12කට, 1901 වසරේ පෙබරවාරි 4 වැනිදා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ ‘රාජකීය දේහය’ වින්ඞ්සර්හි ‘ෆ්‍රොග්මෝ මුසලියම්’ හෙවත් ෆ්‍රොග්මෝ රාජකීය සුසාන භූමියේදී භූමදානය කරන ලදි. 

ඡායාරූපය 1901 වසරේ පෙබරවාරි 04 වැනිදා ‘මැන්චෙස්ටර් ගාඩියන්’ හි පළ වූවකි. අයිතිය ‘ද ගාඩියන්’
https://www.theguardian.com/theguardian/2012/feb/04/archive-1901-death-queen-victoria

Friday, February 2, 2018

පුවත්පත් හා සමාජ මාධ්‍යය


රාවය පුවත්පත සම්බන්ධයෙන් මතු වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ සතියේ රාවය පුවත්පතේ පැහැදිලි කිරීම් සහ ලිපිවලට අමතරව පසුගිය සති දෙකක කාලයේදී මුහුණු පොතේ ද විවිධ අදහස් දැක්වීම් දක්නට ලැබිණි. මා ලියන්නට යන්නේ රාවය විවාදයෙන් මතු වී එන වෙනත් කරුණක් ගැනය. රාවය පුවත්පත සම්බන්ධයෙන් සහ ජනරංජන මහතාගේ ඉවත් වීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමේ ලිපියක් පළ කරන වික්ටර් අයිවන් මහතා එම ලිපියේ පළමු ඡේදයෙන් වැඩි හරියක් කතා කරන්නේ සමාජ මාධ්‍යය ගැනය.

වඩාත් වැදගත් කරුණ වන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියේ වැඩිමනක් පාදක වන්නේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ අදහස් ද සමඟය. එහිදි පැන නගින ගැටලු දෙකකි. රාවය පාඨකයෝ සියලු දෙනාම සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නෝ ද ? සමාජ මාධ්‍යයේ රාවය ගැන පළවු ලිපි, අදහස් දැක්වීම් සියල්ල රාවය පාඨකයෝ දුටුවා ද ? රාවය පුවත්පත සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එක් සුවිශේෂී සිදුවීමක් වනවා සේම අනෙක් අතට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට හේතු කරගත යුතු සිදුවීමක් යැයි විශ්වාස කරමි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එය හේතුවක් කරගැනීම යනුවෙන් මා අදහස් කරනුයේ, සමාජ මාධ්‍යය සහ සාම්ප්‍රදායික මාධ්‍යය අතර ඝට්ටනයයි. ඉහත සඳහන් කළ අයුරින්ම වික්ටර් අයිවන් මහතා තම කරුණු පැහැදිලි කිරීම් මූලික වශයෙන් පදනම් කරගනුයේ සමාජ මාධ්‍යයි.

පුවත්පත් පිටු සමාජ මාධ්‍යයේ ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම සමාජ මාධ්‍යය විශේෂයෙන්ම මුහුණු පොතේ හාස්‍ය උත්පාදක ඡායාරූප යනාදිය පුවත්පත්වල පළ කිරීම යනාදිය තුළින් මීට පෙර දක්නට ලැබුණි. එහෙත් වික්ටර් අයිවන් මහතාගේ පැහැදිලි කිරීම කෙරෙන්නේ ම මුහුණු පොතේ පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙනි. එහි වඩාත් සැලකිය යුතු කරුණු වන්නේ රාවය පුවත්පත සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තිබෙන්නේ මාධ්‍ය , වේදිකා (ප්ලැට්ෆෝම්ස් දෙකක් වීමය). එකක් රාවය පුවත්පතය. ඉඩකඩ සීමිතය. පළ වන්නේ සතිපතාය. අනෙක් වේදිකාව සමාජ මාධ්‍ය, නැතිනම් අන්තර්ජාලය කේන්ද්‍ර කරගත් මාධ්‍යය. සංසඳනාත්මකව ගත් විට සමාජ මාධ්‍යයේ ඉඩකඩ වැඩිය. අවස්ථා වැඩිය. ඕනෑම අවස්ථාවක අදහස් ප්‍රකාශ කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම ලෝකයේ ජනමාධ්‍ය ප්‍රවණතා සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන පිරිස්වලට මෙය ඉතා හොඳ අවස්ථාවක් මෙන්ම ඉතා හොඳ මාතෘකාවක යැයි විශ්වාස කරමි.

සාර්ථකත්වයට පත්වන්නේ එක්ව යන ගමන්ය. පුවත්පත්වලට, මුද්‍රිත මාධ්‍යවලට හා සාම්ප්‍රදායික මාධ්‍යවලට වෙන් ගමන් කිරීමෙන් අත්පත්වන සාර්ථකත්වය නැත. අනෙක් අතට සමාජ මාධයයට එම කරුණ වලංගුය. එම නිසා තොරතුරු සැපයීම, තොරතුරු එක්රැස් කිරීම, තොරතුරු බෙදාහැරීම, මූලාශ්‍ර යන කරුණුවලදී සමාජ මාධ්‍ය සහ සාම්ප්‍රදායික මාධ්‍ය අතර සහ සම්බන්ධය තවදුරටත් වැඩි කරමින් මාධ්‍ය දෙක අතර තිබෙන පරස්පරතා සීමා කිරීම සම්බන්ධයෙන් කතා කිරීම වඩාත් වැදගත් වේ.


ඡායාරූපය රොයිටර් පුවත් සේවයෙනි

Wednesday, January 17, 2018

පුරුෂ රාජ්‍යයෙන් ඔබ්බට : වෙනස සැපය

පුරුෂ රාජ්‍යය ගැන ලියන අතරවාරයේදී ඉන් මදක් ඔබ්බට යන්නට සිතුවෙමි. මැතිවරණයත්, මැතිවරණයේදී ‘සිංහල බෞද්ධ’ යනුවෙන් හඳුන්වා වන්නා වූ ඡන්ද ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත් ජනප්‍රියත්වය උදෙසාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගන්නා ලද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපට විවේචන තිබේ. එය පසෙකින් තබා වෙනත් කරුණක් ලියන්නට සිත්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන්නේ 2015 වසරේ ජනවාරි මස 9 වැනිදාය. ඊට පෙර ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය පැවත්විණි. වඩාත් සංකේතවත් දිනය බවට පත්ව ඇත්තේ ජනවාරි 8ය. ජනවාරි 8 පෙර මේ රටේ යමින් තිබූ තත්ත්ව අටුවා ටීකා ටිප්පනි ලීමේ අවශ්‍යතාවක් නැත. සිහිබුද්ධිය ඇති, දේශපාලන කණ්ණාඩි නොපළඳින, එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ නොවන මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා දේවත්වයෙන් හෝ පීතෘත්වයෙන් නොසලකන ඕනෑම අයකුට රට යමින් තිබූ අත පැහැදිලිව පෙනෙන්ට තිබිණි.

පෙර දිනයක මා ලියා තැබූවක් මෙන් එකළ දෙවොල කෙළෙසන දන්නා දෙවියන් බවට පත්ව සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ගිලෙන්නට හෝ අතරවයට ලක්වන්නට ගිය තරුණියක බේරගත් පමණින් ඔහු දූෂණය කිරීමේ අයිතියක් තරුණිය බේරාගත් පුරුෂයාට නැතැයි වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර එකල ජනාධිපතිවරණ වේදිකාවලදී නිරන්තරයෙන් පැවසීය. එක් අතකට මහින්ද රාජපක්ෂ මහතා දන්නා යක්ෂයා බවට පත්ව සිටියේය. නොදන්නා දෙවියන් බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්විය. අවසානයේදී නොදන්නා දෙවියන් ජනාධිපතිවරයා ලෙස පත් කර ගන්නට මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව කටයුතු කළේය. 

මෙහිදි තවත් යමක් විශේෂයෙන් ලියා තැබිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අපට කිසිදු පුද්ගලික තරහක් නොමැත. රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා සම්බන්ධයෙන් ද එය එසේය. 

මා ලියන්නට අදහස් කළේ මෙයයි. පසුගිය අවස්ථා කිහිපයකදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගන්නා ලද තීන්දු තීරණ කිහිපයක් සමාජ මාධ්‍යවලත් අන් යම් තැන් තැන්වලත් දිගින් දිගටම දැඩි විවේචනයට ලක්විය. ඔහු සම්බන්ධ කරගනිමින් බොහෝ කාටුන් මෙන්ම සමාජ මාධ්‍යවල උපහාසාත්මක මෙන්ම අපහාසාත්මක දෑ ද බොහෝ විය. 

ජනවාරි 8 වැදගත් වනුයේ එම කරුණේදීය. අප ජනවාරි 8 වැනිදා අත්පත් කරගන්නා ලද වෙනස එයය. ජනවාරි 8 වැනිදාට පෙර නම් අද මෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔය කිසිදු පක්ෂයක කිසිදු මාධ්‍යයක ඉඩක් නොවීය. අවස්ථාවක් නොවීය. රූපවාහිනි මාධ්‍යයේ ඇතැම් දෑ බීප් ශබ්දයෙන් වසන් විය. ප්‍රවෘත්ති විකාශවල මුල් පුවත ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විය යුතුම විය. පුවත්පත්වල ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පළවීම අනිවාර්ය අංගයක් බවට පත්ව තිබුණේය.

අද එදාට වඩා නිදහස්ය. එහෙත් නොදන්නා දෙවියන් ඇතුළු කණ්ඩායම සුදනන්, පාරිශුද්ධයන් නොවන බව ලියා තැබිය යුතුය. ඔවුන් කර ඇති බොහෝ වරද තිබේ. දූෂණය වංචාව පිටු දකමින් යහපාලනයක් ගෙන ඒමා සඳහා පත් කරගන්නා ලද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඇතැම් අවස්ථාවලදී යමර පාලනයක් මෙන් කටයුතු කර තිබේ. ඇතැම් අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී කරන ලද නොමනාකම් ඉක්මවා යන නොමනාකම් කර තිබේ. දූෂණ වංචා සිදු කර තිබේ. යහපාලනය , සමාජ සාධාරණත්වය තඹයකට මායිම් නොකරමින් කටයුතු කර අවස්ථා තිබේ. මේ සියල්ල මධ්‍යයේ අප මතක තබා ගත යුතු වැදගත්ම කරුණ විවේචනය කිරීම නිදහස වැදගත් අයුරින් භුක්ති විඳිමින් සිදු කිරීමය. එම නිසා ලද නිදහස නිදහස ලෙස භුක්ති විඳීමට අප වගා බලා ගත යුතුය. එම නිසා නිදහස වල් බූරු නිදහස් කර නොගනිමින් පවතින පාලනයේ වැරැදි අඩුපාඩු, වංචා දූෂණ, අකටයුතුකම් සහ නොමනාකම් හෙළිදරවු කිරීම සහ විවේචනය කළ යුත්තේය. ඒ බව සිහි තබාගැනීම කාගේ කාගේත් යහපතට හේතුවනු ඇතැයි විශ්වාස කරමි. 

ඡායාරූපය ඉෂාර එස්. කොඩිකාර (ඒ.එෆ්.පී) 
https://www.yahoo.com/news/sri-lanka-lifts-sexist-39-ban-women-buying-005540551.html

පුරුෂ රාජ්‍යය 1


මත්පැන් අලෙවිය හා කාන්තාවන් සම්බන්ධ දශක ගණනක් පැරැණි නීතිරීති ඉවත් කිරීමටත් මංගල සමරවීර අමාත්‍යවරයාගත් තීරණයත් ඉන් දින කිහිපයකට එම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ලද තීරණයත් මෙරට මුද්‍රිත, විද්‍යුත් හා අන්තර්ජාල මාධ්‍ය පමණක් නොව සමාජජාලවලට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. එය දේශීය පමණක් නොව විදෙස් පුවත්සේවාවවලට අවධානය දිනාගැනීමට සමත් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ.

මත්පැන් අලෙවිසැල්වල් කාන්තාවන් සේවය කිරීම සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමේ නීතිරිති ලිහිල් කිරීමත් මත්පැන් අලෙවිසැල් විවෘත කර තැබෙන වේලාවන් වෙනස් කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා පියවර ගත්තේ පසුගිය සතියේදීය. ඒ වෙනුවෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ද මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. එම ක්‍රියාමාර්ගය නවතා දමමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ජනාධිපතිවරයා මැතිවරණ රැලියකදී පැවසීය.

මත්පැන්, යනු ආර්ථිකමය වශයෙන් රජයට ආදායම් උපයා දෙන්නකි. සෞඛ්‍ය තත්ත්වය අතින් බැලූ විට මත්පැන් යනු එතරම් හිතකර දෙයක් නොවුණ ද ඈත අතීතයේ සිට මත, මත්පැන් ගැන කතා ඕනෑ තරම් අපට අහන්නට කියවන්නට තිබේ. ඒ නිසා මත්පැන් තුරන් කිරීම යනු සිදු නොවන්නක් බව පැහැදිලිය. මත්පැන් පානය කරන්නේ නැද්ද යන තෝරා ගැනීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත තීරණය වන්නකි.

මුදල් අමාත්‍යාංශය අදාළ තීරණය ගැනීමේ එක් සාධකයක් වනුයේ ආදායම් ඉපැයීමය. කාන්තා රැකියා අවස්ථා ඉහළ යෑමය. ආර්ථිකයමය අතින් ප්‍රතිලාභ කිහිපයක් ඉහත කී තීරණ නිසා ලැබෙන්නේය. ඒ අතරවාරයේදී මුදල් අමාත්‍යවරයා තවත් කතාවක් කියා තිබේ. එනම් කාන්තාවන් වෙනුවෙන් කියා වෙනම නීති නොතිබිය යුතුය. ඇත්තය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සෑම පුද්ගලයකුටම සමානව සැලකිය යුතුය. ඒ අනුව ස්ත්‍රී පුරුෂ තත්ත්වය අනුව නීති පැනවිය නොහැකි වන්නේය. එසේ බලන කළ ජනාධිපතිවරයා කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබේ. මෙතෙක් කලක් එවැනි නීති පවත්වාගෙන පැමිණීමෙන් අප කර ඇත්තේ බලවත් වරදකි. මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ යටතේ පැවැති සෑම ආණ්ඩුවකටම එරෙහිවම නීතිමය පියවර ගත යුතුය.


ඡායාරූපය ලක්රුවන් වන්නිආරච්චි (ඒ.එෆ්.පී-) LAKRUWAN WANNIARACHCHI/AFP/GETTY IMAGES


Monday, January 8, 2018

මේ දෙවියන්මදැයි තවමත් සැකය


මේ දිනවල ජාතික රූපවාහිනියේ යන දැන්වීමක කොටසක් මතක් වුණා දවස තිස්සෙම. ඒ කොටස පෙනි සිටින්නේ මහා කවි රත්න ශ්‍රී විජේසිංහ. ඔහු කියනවා සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන්නට නම් සම්ප්‍රදාය දැන සිටිය යුතුයි. ඔය කොටස දැකපු මුල්ම මෙලාවේදි මට මතක් වුණේ, අපේ ඉස්කොලේ උත්සවවලදී නිරන්තරයෙන් කියන වාක්‍ය කොටසක්. නිවේදන අංශ හිටපු අයියලා හැම විටම කිව්වා අපේ සෙට් එකේ උනුත් ඒ විදියට කිව්වා. මල්ලිලත් දැන් ඒ විදියට කියනවා ඇති. සම්ප්‍රදාය අතික්‍රමණය තමයි ඔය කෑල්ල. සම්ප්‍රදාය අතික්‍රමණය කරන අපි හැමදාමත් සම්ප්‍රදායට ගරු කරනවා........ඔහොම ඉතිං ආල වට්ටං දානවා. ජනවාරි 8 ගැන  ලියන්නේ කොහොමද කියලා හිතා හිතා ඔය විදියට පටන් ගත්තා. අපි මහින්ද ගැන දැන සිටියා. එහෙම වුණත් මෛත්‍රී ගැන දැනගෙන හිටියේ නැහැ. මට මතකයි අපේ පත්තරේ හෝ වෙනත් පත්තරයක නොදන්නා දෙවියන් යනුවෙන් ලිපියක් පළවුණා. ජනාධිපතිවරණය සමයේදීමයි. නොදන්න දෙවියෝ පත්වෙලා අවුරුදු තුනක් ගිහින්.

ජනවාරි 8 යන අපේ රටේ ඉතිහාසයේ බොහෝ මතක සටහන් ඇති බොහෝ සෙයින් වැදගත්කම් ඇති දිනයක් ලෙසින් හඳුන්වා දිය හැකිය. මාධයවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ අද වැනි දිනකය. වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ උපන්දිනය යෙදෙන්නේ ද ජනවාරි 8 වැනිදාටය. මෙරට ඉතිහාසයේ තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවත්වෙන්නේ ද ජනවාරි 8 වැනිදාවකය. දෛවයේ සරදමකට දෝ මේ සිදුවීම් ත්‍රිත්වයම එකිනෙකට සම්බන්ධය.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන්නේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන බවට පවසමිනි. ඔහු බලයට පත්වන්නේ මහින්ද රාජපක්ෂ සමයේදී ඝාතනය ලක්වූ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන්ගේ ඝාතකයන්, තාජුඩීන්, රොෂෙන් චානුක යන තරුණයන්ගේ ඝාතකයන් නීතිය ඉදිරියට පමුණුවන බවට සපථ කරමිනි. 

එහෙත් අද එසේ දුන් පොරොන්දු ඉටු වී තිබේද ? මහින්ද රාජපක්ෂ සමයේදී සිදු වූ වංචා දූෂණ ඒ අයුරින්ම නැතත් අඛණ්ඩවම සිදුවෙමින් පවතියි. මහා පරිමාණ වංචා සිදුවෙමින් පවතියි. වත්මන් ආණ්ඩුවට බලයට පත්වන්නේ යහපාලන මූලධර්ම සුරකින බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස තුනක් යන්නට මත්තෙන්, ආණ්ඩුවේ පළමු දින සියය ඇතුළත මහා බැංකුවේ මහ මංකොල්ලයක් සිදුවන්නේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඉතිරි වූ යම් සත කිහිපයක් තිබුණේ ද වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ඒ සත කිහිපය ද නැති භංගස්ථාන වී ගියේය. රටේ ජනතාවට සිදුවූයේ හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා කඩාවැටුණා වැන්නකි.

වත්මන් ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා හොඳය. එහෙත් එයින් මේ ආණ්ඩුව හොඳයි කියවෙන්නේ නැත. තොරතුරු පනත ගෙනාවේය. 19 වැනි සංශෝධනය, මැතිවරණ ක්‍රමවේදයක්, ව්‍යවස්ථාවට අලුත් අංග, අලුත් ව්‍යවස්ථාවක් ගැන කතිකාවක් තිබෙන්නේය. එහෙත් ඒවා අල්පයක් තරම්ය. 

අන් සියල්ල පසෙකින් තබමු. බැඳුම්කර නිකුතු-වේදී සොරකම් සිදු වී ඇති බව දැන් සැකයක් නැත. එවැනි වටපිටාවක ඊට සම්බන්ධ වූ පිරිස්වලට දඬුවම් දීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීමකි. 2008 වසරේ මහ බැංකුවේ සොරකම් සිදු වූවා කියා නිදහසට කරුණු කීමෙන් පලක් නැත. එසේ සිදු වූවා නම් ඒවා ගැන පරීක්ෂණ තබා නීතිය යුක්තිය ක්‍රියාත්මක කළ යුතුය. හැට දෙලක්ෂයක ඡන්දයෙන් වත්මන් ආණ්ඩුව පත් කරගත්තේ මහින්ද රාජපක්ෂ රෙජීමය කළ කී දෑ කිරීමට නොව මේ රට යමින් තිබූ අගාධයෙන් ගොඩගැනීමට. ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ සෝභිත හිමිගේ සාධරණ සමාජයක් සංවිධානයේ වත්මන් සභාපතිවරයාගේ වචනවලින්ම කියන්නේ නම් අශ්ශීල සමාජයක් වෙනුවට යහ සමාජයක් ගෙන ඒමටය. ඒ වගකීමන් මිදෙන්නට වික්ටර් අයිවන්ට පමණක් නොව මහාචාර්ය සරත් විජේසූරියට ද බැරිය. යහ සමාජයක් අවශ්‍ය වන්නේ හැට දෙලක්ෂයට පමණක් නොව පනස් අට ලක්ෂයට ද යහ සමාජයක අවශ්‍යතාව තිබේ. ගැටලුව ඇත්තේ එවන්නක් කිරීමට නායකයන් අප සතු ද යන්න ය.

මහින්ද රාජපක්ෂ සමයේදී යුද්ධය අවසන් කළේය. හොඳය. එහෙත් ගැටලුව යුද්ධය අවසන් කළ පමණින් රටේ වාර්ගික ගැටලුවලද විසඳුම් ලැබුණේ ද යන්නය. වත්මන් ආණ්ඩුව ඊට විසඳුම් සොයා තිබෙන්නේ ද ? මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබිණි. මහින්ද රාජපක්ෂ රෙජීමය ලෝකය තිබෙන්නේ ලංකාවේ යැයි සිතා ඊට පිළිතුරු දෙන්නට ගියේය. එයින් ද පහර වැදුණේ රටේ ආර්ථිකයටය. වත්මන් ආණ්ඩුව එය සමනය කරගත්ත ද ප්‍රශ්නවලට විසඳුම් සොයා නැත. මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකකට පෙරාතුව ජනාධිපතිවරණයක් කැඳවූයේ ජාත්‍යන්තරයෙන් සම්බාධක එල්ල වීමට තිබූ නිසා යැයි ද ඉදිරියේදී රටේ ආර්ථික බුබුළ පුපුරා යෑමේ අවදානමක් තිබෙන නිසා යැයි ද කියැවිණි. 

එසේ කී වත්මන් රනිල් මෛත්‍රී ආණ්ඩුව ඊට විසඳුම් සොයා තිබෙන්නේ ද ? ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කර තිබෙන්නේද ? ඝාතකයන් තවමත් නිදැල්ලේය. මහ පරිමාණ දූෂිතයන් තවමත් නිදැල්ලේය. මාධ්‍යවේදීන් පැහර නොගත්තද මාධ්‍යවේදීන්ට තවමත් තර්ජනය. බලපෑම් නැතත් එය එසේය. සොරුන් දූෂිතයන් තවමත් තනතුරුවලට පත් වන්නේය. ඔවුන් පත් කරන්නේ හොරුන්ට දඬුවම් දෙන බව කියමින් ධුරවලට පත්වූ ජනාධිපතිවරායය. අගමැතිවරයාය. ඔවුන් යටතේ සිටින ඇමැතිවරුය. හොරකම් කළ ඇමැතිවරුන් මේ ආණ්ඩුවේත් ඇමැතිවරුය. 

2015 ජනවාරි 8 වෙනසක් වුණේය. එය වැඩියෙන්ම දන්නේ අවබෝධ වන්නේ මහින්ද රාජපක්ෂ සමයේ පීඩාවට පත්වූවෝය. ඝාතනයට ලක්වූවෝය. ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ය. මාධ්‍යවේදීන්ය. එහෙත් ඒ දැනීම, අවබෝධය ඔවුන්ගෙන් ඔබ්බට ගොස් හැට දෙලක්ෂයක් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිධුරයට පැමිණෙන්නට අවස්ථාව උදා කරන දුන්හ. ඒ හැට දෙලක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබූහ. එහෙත් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා එම විශ්වාස බිඳ දැමීය.

මේ ආණ්ඩුව යමක් කර නැත්තෙමත් නැත. එමෙන්ම පසුගිය ආණ්ඩුව ද යමක් කර නැත්තෙමත් නැත. එබැවින් මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුව සමයේ පැවැති මහා පරිමාණ දූෂිත නවතා දැමිය යුතුය. ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කළ යුතුය. සෝභිත හිමියන්ගේ නිසල දේහය ඉදිරියේදී සපථ කළ අයුරින්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුය. පාලම් උන්වහන්සේ නමින් නම් කර එයින් ගැලවිය නොහැක. හැට දෙලක්ෂයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කර ගන්නා ලද් දන්න යක්ෂයාට වඩා නොදන්න දෙවියන් හොඳ ඇතැයි කියා විශ්වාසය තබමිනි. පනස් අට ලක්ෂයක් නොදන්න දෙවියන් කුමක් කරනු ඇත්දැයි අවිශ්වාසයෙන් දන්නා යක්ෂය වෙනුවෙන් වූහ. එහෙත් අවසානයෙදී දන්නා යක්ෂයා පරයා නොදන්නා දෙවියන් ජයගත්තේය. එහෙත් මේ දෙවියන්මදැයි තවමත් සැකය. 



ඡායාරූපය ශෙහාන් ගුණසේකර   https://www.facebook.com/sheh1173/photos/a.730572830300599.1073742104.574293862595164/1063848833639662/?type=3&theater


හර්ෂණ තුෂාර සිල්වා
2018.01.08

  





Wednesday, December 27, 2017

සියළු නිරාගමිකයන් සහ වෙන්ට නිරාගමිකයන් වෙත,

වත්මනේදී නිරාගමිකයන් හෝ ආගමික විශ්වාස නොදරන්නන්, එසේ සිතනුයේ විද්‍යාත්මක චින්තනය පදනම කරගෙනය.....
එය එසේ වීම යහපත් දෙයකි......
මිනිස් ශිෂ්ඨාචාරයේ ඓතිහාසික පෙළගැස්ම සමග සසඳා බලන කල, එදා තිබී නැසී ගිය, සහ අද දවසේ ප්‍රබල සංස්ථා බවට පත්ව රජ කරන, සියලු ආගම් වල දැක ගත හැකි පොදු ලක්ෂණ තිබේ......ඒවා නම් -
- අතීතයේ ජීවත් වූ හෝ ජීවත්ව සිටි බව කියන එක් ශ්‍රේෂ්ඨ මිනිසෙකු විසින් යම් චින්තනයක් ඇසුරින්, පරිසරයේ සහ විශ්වයේ අප දකින ප්‍රපංච තනි තනි වශයෙන් වියුක්තව හෝ,
සමස්ථයක් ලෙස විග්‍රහ කිරීමටත්, ඒවායේ ක්‍රියාකාරීත්වය පිටුපස ඇති හේතු සාධක ලෙස තමන් විසින් ඥාණනය කරනු ලබන දේ හෙළිදරව් කිරීමටත් දරන ලද උත්සාහයක් තිබීම
- ඒ උත්සාහය නිසා ඒ මනුෂ්‍යයා වටා එක් රොක් වූ ශ්‍රාවකයන් සහ පසුව ඒ ශ්‍රාවකයන් අතුරින්, ඒ මිනිසාගේ දේශනා ගැන පැහැදී, ඔහු අනුව කරන්නන් හෙවත් " අනුගාමිකයන්" සිටීම
- පසු කළෙක එකී ප්‍රවාහය ජනප්‍රිය වනවිට, එයින් "සංස්ථාවක්, ආගමික ව්‍යුහයක්" ගොඩ නගාගෙන, එයින් ධනවතුන්, බලවතුන් බවට පත්වීමට මාන බැලූ අය සිටීම
- ඒ අය විසින් ගොඩ නගනු ලබන සංස්ථාවන් ස්වකීය දේශපාලන වාසිය තකා, පිරිස් බලය උපයා ගැනීමට සහ අධිරාජ්‍ය පවත්වා ගැනීමට, එකිනෙකට වෙනස් සංස්කෘතීන් පොදු එකඟතාවයක් යටතේ අධිරාජ්‍යයක් තුළ පාලනය කිරීමට පාවිච්චි කළ දේශපාලකයන් සහ මිලිටරි නායකයන් සිටීම
- ක්‍රමයෙන් අදාළ මුල් ශාස්තෘවරයාගේ අරමුණු වලින් බෙහෙවින්ම ඈතට යන, අන්ධ භක්තිකයන් පරපුරෙන් පරපුරට රවටනු ලැබීම සහ මිථ්‍යාන්ධකාරය වෙනුවෙන් ඔවුන්ගේ ඉණ ඉහ අතගෑම....
- ශාස්තෘවරුන්ට සමකාළීනව සිටි උගතුන් මුලින් ආකර්ෂණය කරන ලද දර්ශණය, අවසානයේදී සියවස් ගණනක් මුලුල්ලේ සිතන්නට බුද්ධි පෞර්ෂය නැති ජනයා රවටනු ලැබීම....
මේ කරුණු කාරණා නිසා මිහිපිට සිදුවූ අවාසනාවන්ත සිද්ධි දාමයන් වල නිමක් නැත......ඒ නිසා ලක්ෂ කෝටි ගණන් මිනිස්සු අකළට මිය පරලොව ගියහ, වහළුන් ලෙස විකුණනු ලැබූහ, අතවරයන්ට ගොදුරු වූහ, අප්‍රමාණ වධ හිංසා, කුරිරු බන්ධන වලට ඇතුළත් කරනු ලැබූහ.....
අදටත් මිනිසාට ස්වභාවිකව ලැබී ඇති සහජාශයන් සන්තර්පණය කරමින් සතුටක් ලබන්නට අවසර නොදෙන, බියකරු, අස්වාභාවික, අඳුරු සංස්ථා හුදෙක් පරලොව කෙරෙහි ඇති භීෂණය මත පවත්වාගෙන යන නරුම ක්‍රමවේදයන් සෑම ආගමකම ඇත.....
එසේ හෙයින් විද්‍යාත්මක පුනරුදයක් උදාවෙමින් පවතින මොහොතක, මේ දරදඬු පාර-භෞතික හෝ අභෞතික විශ්වාස නිසා විපතට පත්වන ජනතාවට නිදහස ලබා දීමට විද්‍යාත්මක චින්තනය ඇති, නිදහස් මනසක් ඇති සියළු දෙනා උපරිම උත්සාහය දැරිය යුතුය......එය ඔවුන්ගේ පරම යුතුකමකි.....
නමුත්,
හොඳට හෝ නරකට, මේ වසර දහස් ගණන් පැරණි ආගමික සංස්ථා මිනිස් වර්ගයාගේ ශිෂ්ඨාචාරයන් සැකසීමේලා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කර ඇත......
එසේ හෙයින්, වත්මනේදී අප දකින මිනිස් සමාජයන්ගේ පදනම වී තිබෙන්නේ මේ ආගමික චින්තනයන් සහ එ ඇසුරින් හටගත් සම්ප්‍රදායන්, වතාවත් සහ කතිකාවත්ය.....
ඔබ කොතරම් විද්‍යාවාදියෙක්, භෞතික වාදියෙක්, අනුභූති වාදියෙක් උනත්, මොකක් හෝ ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවූ විට, " අම්මපා මේක නම් මහා "කරුමයක්" කියන්නේද, "දෙයියොම බලා ගත්තාවෙ.....දෙයියනේ !" කියන්නේද මේ මහා ශිෂ්ඨාචාර වල පදනම වූ ආගමික චින්තන ඔබේ ඇට මිදුළු අස්සට යමක් එන්නත් කොට ඇති නිසාය....
ඒ නිසා,
නූතනයේදී ඔබ ලබා ගනිමින් සිටින දැනුම අනුව සහ ප්‍රශ්ණ කිරීමේ නිදහස අනුව අප ආගම් වල ඇති අභෞතික දේ දැඩි ලෙස විවේචනයට ලක් කළ යුතු වුවත්,
ආගමික දේශනා පමණක් නොව, කිසිවෙකුත් කියන කිසිවක් නොවිමසා බාර නොගන්නා තැනට ජනතාව හුරු කළ යුතු වුවත්,
එය කළ යුත්තේ ඔබත් සිටගෙන සිටින ආගමික චින්තනයන්ගේ පදනමට, සම්ප්‍රදායන්ට, වතාවත් වලට උන්මත්තකයන් සේ, කිසිදු ඉවක් බවක් නැතුව නින්දා අපහාස කිරීමෙන් නොවන බව ඔබ වටහා ගත යුතුය......
ඔබ විවේචනය කළ යුත්තේ ආගමික කරුණු කාරණා නම්, ඒ ආගම් වල පොත්පත් හොඳින් කියවා, මුලින්ම තමාගේ විවේචනයට බඳුන් වන්නට නියමිත ආගමේ ධර්ම සන්දර්භය ගැන යම් කිසි උගත් කමක් ඇති කරගන්න..... මෙහිදී එහි සියල්ල ඔබ අවබෝධ කරගත යුතු නැත.....ආගමික චින්තනයේ කේන්ද්‍රගත ප්‍රධාන ඉගැන්වීම් කිහිපයක් ගැන තදින් ගවේෂණය කර සිටීම ප්‍රමාණවත්ය......
ඔබ විවේචනය කළ යුත්තේ ආගමික සම්ප්‍රදාය, ආගමික සංස්කෘතිය සම්බන්ධ යම් කිසි වතාවත් ක්‍රමවේදයක් නම්, ඒ ගැන හොඳින් හදාරා, ප්‍රාමාණික දැනුමක් ඇති කරගෙන සිටිය යුතුය.....
ඒ සියල්ලටම වඩා ඔබ විසින් දිනවන්නට යන භෞතික වාදී චින්තනය / විද්‍යාවාදී චින්තනය ගැන නිසි අවබෝධයක් ඇති කර ගන්න.......තමන් ඔසවා තබන්නට යන්නේ කුමක්දැයි තමන් නොදන්නා විට ඒ කරන දෙයින් කිසි තේරුමක් නැත.....
ඉන් පසුව ඔබේ විවේචනය අරඹන්න..... නියම විවේචනය යනු එයයි......
බුදුන් හමුවේ බමුණු පඬිවරුන්ද, කිතුන් හමුවේ සෙනගෝගයේ පඬිවරුන්ද, අනන්ත අප්‍රමාණ වාද විවාද පවත්වා උන් වහන්සේලාගේ ධර්මයන්ට විවේචන ගෙනවුත් ඇත.......එසේ හෙයින් ඔබත් ගෙනෙන විවේචන අනිවාර්යයෙන් එසේ ගෙන ආ යුතුය......
එදවස ඒ ශාස්තෘන්ට සමගාමීව සිටි උගතුන්ගේ දැනුමේ ප්‍රමාණය අනුව ගෙන ආ තර්ක විතර්ක නිසා ඒ ඒ ආගම් වල ධර්ම කථිකාවත් වඩා අලංකාර විය...... අද මිනිස් වර්ගයා ඊට වඩා විශාල, පෘථුල දැනුමක් ස්වභාවික ප්‍රපංච ගැන හිමිකරගෙන සිටිති.....එසේ නම් අද එදාට වඩා දහගුණයකින් මේ වාද තීව්‍ර විය යුතුය......තර්කයේ නිර්මල ජල දහරාව මගින් ගතානුගතික මිසදිටු විශ්වාස ගිල්වා දමනු ලැබිය යුතුය.......
මේවා නොකර, ඔබ විසින් කිසිදු හේතුවක් නැතිව ආගමික ශාස්තෘවරුන්ට නින්දා අපහාස කරමින්, ඉවක් බවක් නැති ලෙස කවුරුන් හෝ ආදරය කරන හර පද්ධතීන්ට පහර දීමෙන් සිදුවන්නේ ඒ අය අඳුරෙන් එළියට ඒම නොව, ඔවුන් කෝපාවිෂ්ඨ වී ඔබේ වෛරක්කාරයන් බවට පත්වීම, සහ තව තව ඒ ආගමික චින්තනය තරයේ වැළඳගෙන, එය දෙසටම පසු බැසීමය.......
යම් ආගමික විශ්වාසයක එන සංස්කෘතික කාරණයක් හෝ ප්‍රතිපදාවක් මිනිස් වර්ගායට අහිතකර වන්නේ නම්, එයට තාර්කිකව පහර දුන්නාට කම් නැත......කිසිවෙකුටත් කරදරයක් නැතිව තමන්ගේ ආගමික විශ්වාස පවත්වා ගන්නා අයගේ සිත් රිදවන්නට යෑමෙන් ඔබලා සැමගේම අප්‍රසාදය දිනාගත් වෛරයෙන් පිරුණු මළ යකුන් පිරිසක් වනවා විනා, ඔබලා දෙන්නට වෑයම් කරන පණිවිඩය කිසිවෙකු අතටත් යන්නේ නැත.......එවිට ඔබලාගේත්, ඔබ විසින් හෙළා දකින්නට වෑයම් කරන ආගමික අන්තවාදීන්ගේත් අතර කිසිදු වෙනසක් නොමැත.....එවිට ඔබත් ආගම් රකින්නට කඩු පොලු අරගෙන නැටූ මිනීමරුවන්ගේ ගොන්නටම එකතු කළ හැකි මානසිකත්වයක් ඇත්තවුන් බවට ක්‍රමයෙන් පත්වනු ඇත......එහි අවසන් ප්‍රතිඵලය වන්නේ "නිරාගමික ත්‍රස්තවාදයක්" හෝ අන්තවාදයක් විනා අන් කිසිවක් නොවේ...... නිරාගමික අන්තවාදයද, අනෙක් සියළු අන්තවාදයන් මෙන්ම බියකරුය.....
ඔබ සැම විද්‍යාවේ පරතෙරට ගිය ඇත්තන් නොවන බවද, ලෝකයේ අද සිටින අග්‍ර ගණ්‍යම උගතුන් පවා එසේ තමා ගැන තක්සේරුවක නොසිටින බවද මතක තබා ගන්න.......අප සැවොම දන්නා දෙයට වඩා නොදන්නා දෙය අති දැවැන්තය.....
ආගමික තර්ක පරාජය කළ යුත්තේ, කරුණු කාරණා සමග තර්කයෙන් විනා අපහාසයෙන් හෝ හිංසනයෙන් නොවේ..... කරුණු වෙනුවට අපහාස ඉදිරියට ගෙන එන අය තමන් ඉන්නා ස්ථාවරය ගැනවත් කිසිවක් නොදන්නා අය වෙති......
- ආගමික ව්‍යාප්තවාදය තරයේ විවේචනය කරන්න
- ආගමික ව්‍යාපාරකරණය ඒ ශාස්තෘවරුන් ගත කළ අල්පේච්ඡ ජීවිත හා ඔවුන්ගේ දේශනා ඇසුරෙන් විවේචනය කරන්න
- ආගම් මුවාවෙන් බඩ වඩාගන්නා, දූෂිත දේශපාලනය, හොරුන්, මිනීමරුවන් රකින නින්දිත මිනිසුන් සිටී නම් ඔවුන්ව දැඩි ලෙස, නිර්දය ලෙස විවේචනය කරන්න...
නමුත් ආගම නම් ප්‍රස්තුතයෙහි විවේචකයෙකු වනවා විනා, ත්‍රස්තවාදියෙකු නොවන්නට වග බලාගන්න.... මක් නිසාද මේ ලෝකයේ මිනිසුන් එල්බගෙන ඇති මතවාද නිසා බිහිවී ඇති ත්‍රස්තවාදයන් හොඳටම ප්‍රමාණවත්ය......
ඔබලාට යම් මතයක් ව්‍යාප්ත කළ යුතු නම්, ඒ මතයට පටහැණි මතයන් දරන අයගේ සතුරෙකු වීමෙන් එය කළ නොහැක......ඔබලාගේ මතය ජය ගැන්වීමට නම්, ඔවුන්ව දිනාගත යුතුය..... ඒ සඳහා කල්ලි ගැසී අපහාස කරනවාට වඩා වෙනත් සහනශීලී ක්‍රම ඕනෑ තරම් ඇත.......එවිට ඔවුන්ද යමක් සිතා බලන්නට පෙළඹෙනු ඇති අතර, කාළයක් යනවිට ඒ සිතිවිලි වඩා ප්‍රබල වනු ඇත.....
විවේචනය කරන්නා සතුරෙකු නොවන බව ආගමිකයන්ද වටහා ගත යුතු දෙයකි......

දමිත් කේතක විසින් ලියන ලද්දකි https://www.facebook.com/LordDK82?hc_ref=ARR8UQLG5TLMjBXhX4HCiKn1i1IvOmY9m8aD93PKRYaeBC0XyY66uwudzPv1lTGVR0Y&fref=nf

Friday, December 22, 2017

අපට බලාපොරොත්තුවක් දෙන්න

ක්‍රිකට් තරගවල සුන්දරත්වය රැඳී ඇත්තේ තරගකාරීත්වය මතය. බලාපොරොත්තු මතය. ජය පරාජයටත් වඩා වඩාත් වැදගත් වන්නේ තරගකාරීත්වයයි. ප්‍රේක්ෂකයන් වඩාත් ප්‍රිය කරන්නේ අවසන් පන්දුව දක්වා දිගහැරෙන ක්‍රිකට් තරගවලටය. 

ශ්‍රී ලාංකිකයන් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහාණයට අප ප්‍රිය කරන්නා සේම, ඉන්දීය ප්‍රේක්ෂයන් ද එසේය. ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙක් රටවල ප්‍රේක්ෂකයන් ද එසේය. එසේ වුවත් පරාජයට වුවද පිළිගැනීමට අප සූදානම් වන්නේ එම තරගය බලාපොරොත්තු පොඳි බැඳගත් තරගයක් වුවහොත්ය. තරගකාරීත්වයෙන් පූර්ණ වුවහොත්ය. අවසන් පන්දුව තෙක් නොවුණත් උණුසුම් වුවහොත්ය. සුද්දාගේ බසින් කිවහොත් ‘නේල් බයිටින්’ එහෙමත් නැතිනම් පුටුවේ ආසනයේ කෙළවරට අප ගෙන්වන තරගයක් වුවහොත්ය. 

අද අපට අහිමි වී ඇත්තේ බලාපොරොත්තුය. තරග පරාජය වීම අනුමත කළ හැක්කේ තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමට කරට කර සටනක් දුන්හොතය්. තරගකාරීත්වයේ උපරිමයට පැමිණියහොත්ය. එහෙත් අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උන් කීයක් ගැහුවත් අප ගහන්නේ අපට ඕන ගණන යැයි කියන තැනට පත්ව තිබේ. මේ තරගාවලිය මෙසේ අවසන් වීම එක් අතකින් වාසනාවකි. 

ශ්‍රී ලංකාවේ දී ඉන්දියාව සමඟ පැවැති තරගාවලිය 9ට 0ක් ලෙස පරාජයට පත්ව මේ තරගාවලිය ඊට වෙනස් ප්‍රතිඵලයක් දක්වා ගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු විය යුතුය. ඉන්දියාවේදී, ඉන්දියාවට වාසි වන අයුරින් සකසන තණතීරුවල, ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ පීඩනය හමුවේ ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙසත් එක්දින් තරගාවලිය 2ට 1ක් ලෙස අවසන් කරගැනීමට හැකි වීම සතුටුදායකය. 

ගැටලුව ඇත්තේ කොතැනද ? දක්ෂතාව නම් නොවේ. මෑත කාලයේ ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයන් පාහේ දක්ෂයෝය. නායකයාගේ ද ? නැත. නායකයා පමණක් ක්‍රීඩා කරන්නේ නම් එසේ කිව හැකිය. අඩුපාඩුව ඇත්තේ වුවමනාවට වඩා විශ්වාසය නොමැතිකම. කැපවීම නොමැතිකමය. වගකීම් විරහිත බවය. ආකල්පවලය. තරගකාරීත්වය නොමැතිකම. සතුටට කරුණ නම් මීට වසර ගණනකට පෙර අපි දුටු උපුල් තරංග නැවතත් දක්නට ලැබීමය. කුසල් ලකුණු අතරට පැමිණීමය. මේ තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් හොඳය.

වුවමනාවට වඩා විශ්වාසය තැබීම අඛණ්ඩ පරාජයන්ට ප්‍රධාන හේතුවකි. අනෙක් අතට දක්ෂතා එක දිගට පවත්වා නොගැනීමය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම කඩා වැටීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. කාලයක් පටන් අළුයට ගිනි මෙන් කාලයක් පැවැති දුර්වලතා එක ගොන්නට පුපුරා යෑමය. මේ පුපුරා යෑම කොතැනකින් නවතින්නේ ද යන්න සැක සහිතය. මෙය හුදෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හා පරිපාලනවල දුර්වලතාය. නොසැලකිල්ලය. වත්මන් පරිපාලනයත් ඊට වගකිව යුතුය. අද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අත්ව තිබෙන ඉරණමට එක් අයකු පමණක් වග කිව යුතු නොවේ. සියලු දෙනා වගකිව යුතුය.

චන්දික හතුරුසිංහ කණ්ඩායමේ පුහුණුකාරධුරයට පත්ව තිබේ. ඔහු අපට බලාපොරොත්තුව දේවිද ? 

ඡායාරූපය තාරක බස්නායක https://www.facebook.com/photo.php?fbid=1747450721953871&set=a.117085894990370.13746.100000668801507&type=3&theater

 http://www.gettyimages.com/

හර්ෂණ තුෂාර සිල්වා
22.12.17


Friday, December 8, 2017

මිනිසුන්ගේ නොදැනුවත්කම් අවබෝධයක් නොමැති කමත්, එම දුර්වලතා දෙකම දේශපාලකයන් ඇතුළු විවිධ කණ්ඩායම් තම තමන්ගේ පටු වුවමනා ඉටු කරගැනීම සඳහා භාවිත කිරීමත් කනගාටුවට කරුණකි. මේ සිදුවීම මට වඩාත් සමීප වන්නේ එෙඬ්රමුල්ල ග‍්‍රාමය මීට සම්බන්ධ වීමයි. එෙඬ්රමුල්ල ග‍්‍රාමයේ නම වෙනස් කර නොමැති බව මුලින්ම සහ විශ්වාසයෙන් අවධාරණය කළ යුතුය.

සීමා නිර්ණය කටයුතුවලදී වෙන් කරන කොට්ඨාශ අනුව එෙඬ්රමුල්ල යනුවෙන් වෙනම කොට්ඨාශයක් ද අක්බාර් ටවුන් යනුවෙන් වෙනම කොට්ඨාශයක් ද වේ. මේ අනුව මහර ප‍්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ 6කි. කිරිමැටියාගාරය, දළුපිටිය, නාතුඩුව, එෙඬ්රමුල්ල, අක්බාර් ටවුන් සහ ගොංගිතොට යනු එම කොට්ඨාශ හයයි. මේවා හුදෙක් මැතිවරණයට පමණක් අයත් වන මැතිවරණ එසේත් නැතිනම් ඡුන්ද කොට්ඨාශ විනා ගම්වල නම් වෙනස් කිරීමක් නොවේ. 

එම වෙන්කිරීම්වල ඡුායාරූප සහ අදාළ ගැසට් පත‍්‍රයේ ‘ලින්ක්’ පහත දක්වා තිබේ. කිසිදු කරුණු සොයා බැලීමෙන් යන්නන් වාලේ කටයුතු කිරීම සම්ප‍්‍රදායක් වීම කනගාටුවට කරුණකි. සමාජයේ උගත් බුද්ධිමත් යැයි විශ්වාස කරන පුද්ගලයන් පවා මුග්ධ අමනයන් මෙන් කටයුතු කරමින් විවිධ පිරිස්වල පටු වුවමනා ඉටු කරමින් ප‍්‍රචණ්ඩත්වයට පාර කැපීමත්, සාමයෙන් විසූ ජන කොටස් අතර අසමගිය වැපිරීමත් ඛේදනීය හා කනගාටුදායක කරුණකි. 

යමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හෝ ප‍්‍රතිචාර දැක්වීමට පෙර ඒ පිළිබඳව හොඳින් විමසා බලා සාක්ෂාත් කරගැනීමේ පුරුද්දක් අප සමාජයේ බොහෝ දෙනා සතුව නොමැති වීම කනගාටුවට කරුණකි. මා දන්නා කාලයේ පටන්, සිංහල, මුස්ලිම් යන ජාතීන් ද්විත්වයත් බෞද්ධ, ඉස්ලාම් සහ කතෝලික ආගම් අදහන ජනකොටස් සාමයෙන් සමගියෙන් ජීවත් වූ ප‍්‍රදේශයක් ලෙස එෙඬ්රමුල්ල සහ අක්බාර් සහ ඒ අවට ප‍්‍රදේශ ගැන කිව හැකිය. ප‍්‍රදේශයේ සියලූ ජාතීන් සහ ආගම්වල දරුවෝ යන්න එකම පාසල් කිහිපයකටය. වැඩි ආටෝප නැතුව ලියන්නට ඇත්තේ ප‍්‍රචණ්ඩත්වයට පාර කැපීම වෙනුවට කරුණු විමසා බලා සාමකාමීව කටයුතු කරන්න යනුවෙනි. 




හර්ෂණ තුෂාර සිල්වා
08.12.17

Saturday, November 18, 2017

ප්‍රචණ්ඩත්වය වීරත්වය එකිනෙකාට පහර දීම ලේ වැගිරීම වීරත්වයට නංවන සමාජයක අපි ජීවත් වෙමු. වසර 2500ක මහා ඉතිහාසයක් ගැන නිරන්තරයෙන් පාරම්බාන අපට පසුගිය සියවසක කාලයේදී කතා කරන්නට දෙයක් තිබෙන්නේ ද ? මියගිය තරුණ පරම්පරාවක් ගැන, තිස් වසරක බිහිසුණු යුද්ධයක්, සිංහල, දෙමළ හා මුස්ලිම් කෝලහාල හැරෙන්නට අපට කතා කරන්නට ඇත්තේ ආඩම්බර වීමට ඇත්තේ අල්ප වූ ජයග්‍රහණ කිහිපයක් ගැන පමණි.

තිස් වසරක යුද්ධය ආයුධවලින් අවසන් වූවත් එම යුද්ධයට හේතු වූ කරුණු, අර්බුද, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි තවමත් අසමත් වී සිටින්නෙමු. තරුණ කැරැලි දෙකකින් නොනැවතී මහා සිවිල් යුද්ධයක් දක්වා මේ රට ගියේ, පාලකයන්ගේ සහ ජීවත් වූ පරම්පරාවල වැරැදි තීරණ නිසා දන්නා වුවත් අනෙකාට චෝදනා කිරීමෙන් පලක් වන්නේ නැත. අද වනවිට අනෙකාට චෝදනා කිරීම සරල බසින්ම කියන්නේ නම් බෝලය පාස් කිරීම අපේ රටේ සම්ප්‍රදායක් බවට පත්ව තිබෙන්නේය. 
යුද්ධය හුදෙක් දෙමළා ජනතාව මුහුණ දෙන අසාධාරණකම් නිසා ඇති වූවක් නොව රටේ සමස්තය, රටේ බහුතරය, පීඩිත ජනතාව නිසා ඇති වූවකි. රටේ බහුතරයක් අසාධාරණයට, පීඩාවට හා වදහිංසාවලට ලක්වෙති. ඒ බහුතරය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියල්ලෝම සිටිති. රටේ සුළු තරයක් දෙනා තමන්ගේ පැවැත්වම උදෙසා බහුතරය තුළ ගිනි අවුලවමින්, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් මංකොල්ලකමින්, රටේ අධ්‍යාපන, සෞඛ්‍ය ආදී සියල්ල විනාශ මුඛයට ඇද දමමින් කටයුතු කරති. පුංචි ලේ කඳුළක් සෑම විටම මහා ලේ විලක් කිරීමට ඔවුහු මාන බලති. 

ගිංතොට සිදු වූයේ ද එයයි. පුද්ගලික ආරවුලක්, රිය අනතුරක් මහා විනාශයක් ඇද ගෙන යෑමේදී බහුතරය තුළ සිටින අනුවණ පිරිස් දැක් වූ සහයෝගය ද කිසිසේත් අමතක නොකළ යුතුය. මුග්ධයන්, මී හරකුන් අනුවණයන් ලෙසින් හැසිරෙමින් එකිනෙකා ඇණ කොටා මරා ගැනීම සම්ප්‍රදායක් වී තිබෙන සමාජයකට රතිඤ්ඤා හඬක් වුවද ප්‍රමාණවත්ය. රට තුළ ව්‍යවසන ඇති කිරීමට, බොරදියේ මාළු බෑමට බලා සිටින සුළුතරය සෑම විටම තම තමන්ගේ මංකොල්ලකෑම්, අපරාධ, දූෂණ හා වංචා වසා ගැනීමට රට තුළ ව්‍යවසන, අර්බුද, විවිධාකාරයේ ගැටුම් හා සිදුවීම් නිර්මාණය කරයි. බලයට පත්වන ආණ්ඩු ද එම ක්‍රියාවලිය අඩුවක් නැතිවම පවත්වාගෙන යයි. පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීමය මෙන්ම වත්මන් රනිල් මෛත්‍රී රෙජීමය ද එම ක්‍රියාවලිය හොඳින්ම ක්‍රියාත්මක කරයි.

ඒ සියල්ල පැත්තකින් තබමු. කවුරුන් කුමක් කළ ද සිහි බුද්ධියෙන් කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේම වගකීමකි. එහෙත් අපට එවැනි සමාජයක් තිබෙන්නේ ද ? චින්තනයක් සහිත සමාජයක්, පරම්පරාවක් තිබෙන්නේ ද? තවකකු කී පමණින් තවකෙකුට වද හිංස කරන , සෑම විටම යැපීම, වහල් බව, සම්ප්‍රදායක් කරගත් රටක් අද අප හමුවේ නිර්මාණය තිබේ. එබැවින් අප වෙනස් විය යුතුය. ඒ වෙනස කවදා ඇති වනු ඇත්දැයි මා දන්නේ නැත. එහෙත් විශ්වාසය බලාපොරොත්තුව වටින්නේය. හොරුන්, තක්කඩියන් ගෙදර යැවීමට එකතු නොවන මිනිසුන් තව එකෙකුගේ ලේ සෙලවීමට එකතු වීම නරුම කමක් මෙන්ම අරුමයකි. පාර්ලිමේන්තුවේ හොරුන් ගෙදර යවමු යැයි තැන තැන කියවන අපි, හොරුන් ගෙදර යැවීමට එකතු වූයේ කවදාද ? මැතිවරණයේදී හොරෙකු පරදවා තව හොරකු දිනවූවා මිසක අපි කළ දෙයක් නැත. වැරැද්ද ඇත්තේ අප අතේය. නිවැරැදි විය යුත්තේ ද අපය. 

ඒ නිසා සෑම විටම සාමය, අනෙකාගේ ගරුත්වය, ස්වඅභිමානය, විවිධත්වය අගයන සමාජයක් නිර්මාණය කිරීම අප කළ යුතුය. අපට නොවුණත් අපෙන් පසු උන්ට හෝ මේ රටේ සාමයෙන්, සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. සාධාරණය හා යුක්තිය ඉටුවන සමාජයක් නිර්මාණය විය යුතුය. සිංහල, දෙමළ හා මුස්ලිම් යනුවෙන් හෝ අතට, බුලත් කොළයට, අලියාට, සීනුවට හෝ පොහොට්ටුවට වහල් වීමෙන් හෝ එය කළ නොහැකිය. අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන්ය. මුල්ම වෙනස විය යුත්තේ එතැනය. රටේ සියලු දෙනා නැතත් වැඩි දෙනකු හෝ එසේ සිතන දවසක් එනතුරු අප සටන් වැදිය යුතුය. 

ඡායාරූපය අමිල ගමගේ
https://www.facebook.com/photo.php?fbid=10205347760069034&set=a.4162228449557.167808.1099459155&type=3&theater


හර්ෂණ තුෂාර සිල්වා
2017.11.18

Friday, October 6, 2017

කඩ්ඩෙන් දුරස්වීම

ඉංග්‍රිසි භාෂාව ප්‍රචලිත කිරීමට ලංකාවේ දරුවන් යොමු කිරීම, රටේ තිබෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ලංකාව තුළ තිබෙන අනවබෝධය දුරු කිරීම බෙහෙවින් හේතුවනවා නොඅනුමානයි. අනෙක් අතට විෂය කරුණු, අලුත් දැනුම අපේ රටේ පිරිසකට සීමිත වීමට ප්‍රධාන හේතුව ඉංග්‍රීසි දැනුම, ඉංග්‍රිසි භාෂා භාවිතය අවම වීම. ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ කටයුතුවලට ඉංග්‍රිසි භාෂාව මැදිහත් භාෂාව, ප්‍රධාන භාෂාව ලෙස යොදා ගැනීම රටේ තිබෙන වාර්ගික ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න රැසකට විසඳුම් සපයා දෙනු ඇත.

එවැනි අවස්ථාවක බිග් බෑඩ් වුල්ෆ් වැනි පොත් ප්‍රදර්ශන එහෙමත් නැතිනම්, පොත් සල්පිල් ශ්‍රී ලංකාවේ පාඨකයන්ට ඉතා හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉංග්‍රිසි පොත්වල මිල සාමාන්‍යයෙන් ඉහළ බව නොරහසක්. අනෙක් අතට ඉංග්‍රිසි පොත කියවීමත් ඉතා සීමාකාරියි. එවැනි තත්ත්වයක් මත ‘බිග් බෑඞ් වුල්ෆ්’ කියන්නේ ලංකාවේ හැමෝටම ඉතාමත් හොඳ අවස්ථාවක්.
කොළඹ මේ දිනවල පැවැත්වෙන ‘බිග් බෑඩ් වුල්ෆ්’ දෙවැනි වරටත් ලියන්න හිතුනේ, මිත්‍රයකුගේ මේ සටහන නිසයි.

"බිග් බෑඩ් වුල්ෆ්ට බය කවුද? මෙහෙම අහල තිබ්බෙ Damith Kethaka . බොහොම වලංගු ප්‍රශ්නයක්.

මට දේවල් කීපයක් කියන්න පුලුවන්

එක, බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයේ අඩුපාඩු තියෙනව. එයාලා ලංකාවෙ මාර්කට් එක ගැන තියෙන දැනුම මදි බව පේනවා. උදාහරණයක් විදියට Tin Tin, Asterix වගේ පොත් නැති එක ගන්න පුලුවන්.
දෙක, අඩුපාඩු හරි ගස්සගෙන දිගටම මේක කරගෙන ගියොත්, කොළඹ "ජාත්‍යන්තර" පොත් ප්‍රදර්ශනයට එන ඉංග්‍රීසි පාඨකයො ගාණ පහල වැටෙනව.
තුන, සමහර අංශවලින් හොඳ පොත් මෙයාලා ළඟ තියෙනව. චීන, ජපන් වගේ රටවල නූතන ලේඛකයන්ගෙ පොත් කීපයක්ම මේ අය ළඟ තිබ්බා.
හතර, ඉංග්‍රීසි පොත් විතරක් තිබ්බා කියල, කවුරු බය වුනත් අපි බය වෙන්න අවශ්‍ය නෑ. ළමයින්ට ගන්න හොඳ පොත් ලාබෙට එහෙ තියෙනව. ළමයින්ට පොඩි කාලෙම ඉංග්‍රීසි පොත් අරන් දෙන්න. ළමයින්ව භාෂාවට ආස කරවන්න. අපිට බැරි වෙච්ච තරම් හොඳට එයාලා ඉංග්‍රීසි ඉගෙන ගනිවි.
මම නම් අද ඒක පටන් ගත්තා".

Chamara Sumanapala කියනවා වගේ, බිග් බෑඩ් වුල්ෆ් උත්සවයේ අඩුපාඩු තිබෙනවා. ලංකාව සම්බන්ධයෙන්, ඔවුන්ට ලොකු වැටහීමක් තිබෙන බව පේනවා. අඩුපාඩු මධ්‍යයේ මේ කරන ලද කාර්යය ඇගයිය යුත්තක්. ඒ නියතයෙන්ම කළ යුතුයි. භාෂාවක් සම්බන්ධයෙන් තිබෙන දැනුම අඩුකම අපේ සීමා කරනවා. අලුත් දේ සොයා යන්න තිබෙන ආශාව අඩු කරනවා. භාෂා කිහිපයක් දැන ගැනීම ඉතාමත් වටින්නේ ඒ නිසයි. භාෂා කිහිපයක් වෙතත්, අපේ රටේ ප්‍රධාන භාෂා දෙක වන සිංහල දෙමළ දැනගැනීම අපට බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාව උදා කරනවා.
ඒ අර්ථයෙන්ම, ලෝකයේ ප්‍රධානතම භාෂාව වන ඉංග්‍රිසි ඉගෙන ගැනීම අපේ රටට, අපේ පසු පරම්පරාවවලට, අපේ පරම්පරාවට අතිශයින්ම වැදගත් වෙනවා. ලංකාවේ දක්ෂයන්ට ලෝකය ඉදිරියට යන්න, එයි නිතැතින්ම අවස්ථාව උදා කරනවා. අපට ලස්සන සාහිත්‍යයක් තිබුණත්, ඒවා ලෝකයට නොගියේ මේ භාෂාමය සීමාව නිසා. සිංහල හා දෙමළ යනු ලස්සන භාෂා දෙකක්. සුවිශේෂී අනන්‍යතාවක් තිබෙන, ඉතිහාසයක් තිබෙන භාෂා දෙකක්. එහෙත් සිංහල බසින් ලියැවුණු කෘති, දෙමළ බසින් ලියැවුණු කෘති ලෝකයට නොගියේ අපේ රටේ තිබුණා ඉංග්‍රීසි භාෂාමය දැනුම අඩු බව, භාෂාව භාවිත කරන පිරිසේ සීමිත බව යන කරුණු යන්න අදහසයි. මැදිහත් භාෂාවක් ලෙස ඉංග්‍රිසි භාෂාවට අපේ රටේ සමාජයේ වැඩි ඉඩක් ලැබුණේ නැහැ. ඉංග්‍රිසි භාෂාව මැදිහත් භාෂාවක්, සියල්ල එක් කරන භාෂාවක් කරන්නා වගේම, සිංහල හා දෙමළ යන භාෂා පුළුල් කළ යුතුයි.
ඒ නිසා භාෂාවක් පෝෂණය කිරීම යන කරුණේදී කලාව හා සාහිත්‍යයට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයක්. සාහිත්‍ය හා කලාව තුළ යොදාගන්නා භාෂාව මිනිස්සුන්ගේ දැනුම වර්ධනය කරනවා. මිනිස්සුන්ගේ භාෂාව පොහොසත් කරනවා. පොත් පත්, නාට්‍යය, චිත්‍රපට යනාදිය භාෂා පොහොසත් කිරීමේදී කරන කාර්යයභාරය අපට මෙතැකියි කියන්න බැහැ.


එනයින් ගත් කළ කියවීම, එසේත් නැතිනම් පොත පත කරන කාර්යය ඉතාමත් ඉහළයි. එහෙත් අපට ඉංග්‍රිසි බසින් කියවන්න පොත් තිබෙනවද? රටේ බහුතරයකට ඉංග්‍රිසි පොත පත මිලදී ගන්න, පොත් කියවන්න, ඒ සඳහා ප්‍රවේශය තිබෙනවාද ? එම නිසා බිග් බෑඩ් වුල්ෆ් කියන්නේ අපිත් ඉංගි‍්‍රසි බසත් අතර පාලමක්, අපිත් ඉංගි‍්‍රසි පොත පතත් අතර පාලමක්. බිග් බෑඩ් වුල්ෆ් අපිත් ඉංගි‍්‍රසි බසත් අතර තිබෙන පරතරය අඩු කරාවි. ඒ වගේම මේ පාලම හැම අවුරුද්දෙදිම විවෘත වේවි යන්න අපේ පැතුමයි.



හර්ෂණ තුෂාර සිල්වා
06.10.17

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive