යුද්ධය
ගැන නැවත නැවත ලිවීමට සිදුවීම අකැමැති මාතෘකාවක් වුවද ලියන්නට හේතු සාධක වන දෑ
බොහෝ අවස්ථාවලදී අත්දකින්නට සිදුවේ. සිවිල් යුද්ධයක්, මහා පරිමාණ යුද්ධයක් ද හෝ
මොනයම් අර්ථකතන දුන්න ද තිස් වසරක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් අපට අහිමි වූ
ජීවිත ගණන අති මහත්ය. ඒ නිසා මේ රටේ නැවත යුද්ධයක් හෝ ජාතීන් අතර ගැටුමක් ඇති වීමට
ඉඩ නොදීම අප සියලු දෙනා සතු වගකීමකි.
දශක
තුනක් පුරා පැවැති යුද්ධයේ අපි අමතක කළ යුතු නැත. එහෙත් යුද්ධය ගැන මතකය
මිනිසුන්ගේ සිත්තුළ නැවත වෛරී අදහස් ඇති වීමට නොව සාමය කරා ගමනක් සඳහා විය යුතුය.
එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවන්නේ දකුණේ තරුණ පිරිස් මෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලමින්
එම සටන දිනාගැනීමටය. එල්.ටී.ටී.ඊ යත් දකුණේ තරුණ කොටස් අතර වෙනසක් නැති තරම්ය.
එහෙත් ප්‍රචණ්ඩත්වය කිසිදු ප්‍රශ්නයක් පිළිතුරක් නොදෙන්නා සේම එල්.ටී.ටී.ඊ යට ද
අවි ආයුද ගැනීමෙන් ප්‍රතිඵලයක් අත්වූයේ නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නේ යන පොදු
ධර්මය ඔවුන්ට ද උරුමය. එම ලෝක ධර්මතාව සිංහල දෙමළ භේදයකින් තොරවම මේ රටේ බොහෝ දෙනා
අත් විඳි බව අපි කවුරුත් දනිමු.
යුද
විරෝධී සියලු දෙනාට යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් බව නොරහසකි. එය මෛත්‍රී
පාක්ෂිකයන්, රනිල් මහින්ද පාක්ෂිකයන් හෝ වෙනයම් දේශපාලන මතයක් දැරුවේ ද කියා
වෙනසක් නැත. යුද්ධය අවසන් වූ ආකාරය පිළිබඳ අපට ගැටලු ඇත. යුද්ධයට මුවා වී කළ
වැරැදි ගැන අපි ප්‍රශ්න කළ යුතුය.
මැයි
18 හෝ ආසන්න දිනයකදී රූගත කරන ලද වීඩියෝ පටයක් මුහුණු පොතේ එහා මෙහා යමින් තිබිණි.
මැයි 18 වැනිදා මතකද යන්න විමසමින් එහිදි ප්‍රශ්න කරන්නේය. එම ප්‍රශ්න කිරීමට
එතැනින් එහාට ගොස් රටේ සාමය ඇති කිරීමට කළ යුත්තේ මොනවාදැයි විමසීමට හැකි වූවා නම්
වඩා හොඳය.
තවමත්
රටේ පිරිස් අතර දේශපාලකයන් අතර යුද්ධය අවසන් කළේ කවුද යන්නට මත ගැටුමක් තිබෙන බව
පැහැදිලිය. එහෙත් කවදාවත් යුද්ධය ඇති කළේ කවුද යන්න හෝ එහි වගකීම බාරගැනීමට
කවදාවත් කිසිවකුත් ඉදිරිපත් වන්නේ හෝ
අදහස් දක්වන්නේ නැත. යුද්ධය ඇති වූයේ ඇයි ද යන්න ගැන විමසා සිටින්නේ නම් එය ඉතා
අතළොස්සකි. යුද්ධය ඇතිවීමේ මූලික වගකීම බාරගත යුත්තේ දේශපාලකයන්ය. දේශපාලකයන්ට
සියල්ල පවරා නිහඬවම සිටීමට අපට නොහැක. ලෝකය විනාශ වී යන්නේ වැරැදි මිනිසුන්ගේ
වැරැදි නිසා නොව යහපත් මිනිසුන්ගේ නිහඬ බව නිසා යැයි ඇල්බට් අයින්ස්ටයින් වරෙක
කීවේය. එබැවින් යුද්ධයේ ආරම්භයට, ඒ පරම්පරාවත් ඊට පරම්පරා සියල්ලත් වගකිව යුතුය.
යුද්ධය කඩිනමින් අවසන් කර නොගැනීමේ වරදට ඉන් පසු සියලු පරම්පරා වගකිව යුතුය. නැවත
යුද්ධයක් ඇති නොවීමේ වගකීම වත්මන් පරපුර සතුය.
බුදු
දහම මුල් කරගත් රටක ජීවත්වන අපට බුදු දහමේ මූලික හර පද්ධති අමතකව ගොස් තිබීම
කනගාටුවට කරුණකි. භික්ෂූන් වහන්සේලාට ඒ බව අමතකව යෑම තවදුරටත් කනගාටුවකි. බුදුදහම මේ රටට ලැබෙන්න අශෝක
අධිරාජ්‍යයාගේ මැදිහත් වීමෙනි. යුද්ධයෙන් අති විශාල ජනතාවක් ඝාතනය කරමින් තම
අධිරාජ්‍යය පුළුල් කරගැනීමේ ගමනක යන අශෝක සාහිත්‍යයට අනුව චණ්ඩාශෝක යනුවෙන් නම්
ලබන්නේය. එහෙත් නීග්‍රෝධි හිමියන්ගෙන් දහම් ඇසීමෙන් පසු චණ්ඩාශෝක බුදු දහම වැළැඳ
ගනිමින් ධර්මාශෝක වන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. යුද්ධයේ ආදීනව පිළිබඳ අපට
සමීපතම පාඩම කියා දෙන්නේ බුදු දහම මෙරටට එවීමට මූලික වන ආශෝක රජුය. එම සරල කරුණ
පවා අවබෝධ කර නොගන්නා දුවන්නන් වාලේ දුවන සමාජයක කොටස්කරුවෝ බවට අපි පත්ව සිටිමු.
යුද්ධය
අවසන් වීම බොහෝ දෙනකු ජයග්‍රහණයක් යනුවෙන් හඳුන්වන අතරේම ජයග්‍රහණයට පියවරුන් බොහෝ
දෙනකු සිටින බව නැවත නැවතත් පසක් කරමින් තමා යුද්ධය අවසන් කළේ යැයි කීමට බොහෝ
පිරිස් නිරන්තරයෙන් සැදි පැහැදි සිටිති. එහෙත් අපි ජාතියක් වශයෙන් පරාදය. රටක් ලෙස
පරාදය. ඉතිහාසය හැරෙන්න, පසුගිය කාලයේ දී ක්‍රීඩාව වශයෙන් හා පුද්ගලයන් වශයෙන්
දිනාගත් දේ හැරෙන්නට අපි රටක් ලෙස දිනාගත් දෙයක් හෝ ආඩම්බර වීමට හෝ දෙයක් අපට නැත.
විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වමින් ජාත්‍යන්තරයට යෑම හැරෙන්නට
අපට ආඩම්බර වන්නට දෙයක් නැත.
විජේවීර
සැමරීමේ අයිතිය, ජේ.ආර්, ප්‍රේමදාස, බණ්ඩාරනායක සැමරීමේ අයිතිය මේ රටේ විවිධ
කොටස්වලට තිබේ නම් ප්‍රභාකරන් සැමරීමේ අයිතිය ද හිමිවිය යුතුය. ඉහත කී සියලු
දෙනාගේ තීන්දු තීරණ නිසා මේ රටට හිමි වූ දේවල්වලට වඩා අහිමි වූ දේවල් වැඩිය.
යුද්ධය මැයි මාසයකම අවසන් වීම වඩාත් හොඳය. එයම නිමිත්තක් කරගනිමින් සමරන පිරිස්වලට
ඔවුන්ගේ පාඩුවේ එය සමරන්නට ඉඩ දී ජාතියක් ලෙස මැයි මාසයම ජාතික සාම මාසය හෝ
සංහිඳියාවේ මාසය යනුවෙන් නම් කරමින් ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ හැකිය. මැයි 18 හෝ
මැයි 19 වැනිදාට වෙසෙක් පොහොය දිනයක් යෙදෙන්නේ කවදාද අපට එදාට බොහෝ දේ කතා කළ
හැකිය. එබැවින් අප ආයුද විසඳුම් හෝ ප්‍රචණ්ඩත්වය හෝ විසඳුමක් කර නොගත යුතුය.
හතළිස්
අටට පෙරත් ඉන් පසුත් අද දක්වාම මේ රටේ විවිධාකාර ගැටුම් ඇතිවිය. තරුණයන්ගේ ප්‍රශ්නවලට
පිළිතුරු සැපයීම පැවැති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද අසමත් වීම, සිංහල, දෙමළ හා
මුස්ලිම් ජාතීන්වල අයිතීන් ආරක්ෂා කිරීමට පැවැති ආණ්ඩු හා වත්මන් ආණ්ඩුව අසමත්වීම
රටේ ඇති වූ ගැටුම්වලට ප්‍රධාන හේතුය. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩු මෙන්ම
විපක්ෂ කණ්ඩායම් ද විවිධ සංවිධාන කණ්ඩායම් පිහිටුවමින් රටේ කොටස් අතර ගැටුම් ඇති
කිරීමේ උත්සාහයක නිරත වන බව පැවැති ආණ්ඩුවලින් මෙන්ම වත්මන් ආණ්ඩුවෙන් ද වෙනසකින්
තොරව පෙනී යයි.
පසුගිය
දින කිහිපයක කාලයේදී මුස්ලිම් හා දෙමළ ජාතීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක්
එල්ල වූ බව රටේ විවිධ ස්ථානවලින් අපට අසන්නට ලැබුණි. තිස් වසරක පැවැති යුද්ධය
මූලිකවම සිංහල දෙමළ අරගලයක් බවට පත් වූ අතර ඊට මුස්ලිම් ජාතිකයන් ද මැදිව තුන්
කොන් අරගලයක් වූවා නම් මේ රට මීටත් වඩා විනාශයකට යෑමට ඉඩ තිබිණි. අද රට තුළ එවැනි
තත්ත්වයක් නිර්මාණයක් කිරීම ඇතැම් කොටස්වල වුවමනාවක් බවට පත්ව තිබීමත් ආණ්ඩුවේ හා
විපක්ෂවල පිරිස් එකිනෙකාට දොස් පවරා ගැනීමත් නිසා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන සැටියක්
පෙනෙන්නට නැත.
සෑම
කරුණකම දේශපාලකයන්ට චෝදනා කරමින් සිටීම අපට අදත් හෙටත් තවත් වසර කිහිපයකින් වුවත්
කළ හැකි පහසු කාර්යයකි. එහෙත් අප දැනට සිටිනාවට වඩා ඉදිරි පියවරක් තැබිය යුතුයි.
පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුය. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ
අවබෝධයෙන් කටයුතු කරනා ජනතාවකි. කවුරුන් හෝ කී පළියට හෝ සාම්ප්‍රදායික හෝ සමාජ හෝ
නූතන මාධ්‍යයෙන් ප්‍රසිද්ධියට පත් වූ සැණින් විශ්වාස නොකරන කරුණු විමසන
ජනතාවකි. දේශපාලකයන්ගෙන්, මාධ්‍යයෙන් හා වගකිව යුත්තන්ගෙන් අවබෝධයෙන් ප්‍රශ්න කරන
ජනතාවකි. එවැනි අවබෝධයක් සහිත ජනතාවක් නොමැතිව මේ රටට ඉදිරි ගමනක් නැත. ආර්ථික,
දේශපාලන හා සමාජයීය වශයෙන් අපි තවමත් පරාජිත ජාතියකි. පරාජිත්වයෙන් ගොඩ ආ හැක්කේ
දිගුකල් පවත්නා සාමයකට ගමන් කිරීමෙන් පමණි.
කාටූනය අවන්ත අාටිගල
හර්ෂණ
තුෂාර සිල්වා
24.05.17