Thursday, January 31, 2019


පත්තර රස්සාව මා වඩාත් ප්‍රිය කරන වෘත්තීන්වලින් එකකි. තාත්තාගේ ඡායාරූප ශිල්පයත්, කුඩා කළ සිට ඡායාරූප ශිල්පීන්, පත්තරකරුවන්, සිංදු කියන්නන් ආදී නොයෙක කලාකරුවන් ඇස ගැටීම් ඇසුර නිසාම මා ලියන්නට හුරු පුරුදු විය. ඒවා කොතරම් පිරිසක් කියවනවාද නැද්ද කියන්න මා දන්නේ නැත. කියවන අය මා අඩු පාඩු ගුණ දොස් කියා ඇත. පත්තර කලාවටත් වඩා මට වඩාත් සමීප වූයේ ඡායාරූප ශිල්පයය. එයිනුත් වඩාත්ම හුරු පුරුදු මතක පුද්ගලයා ලෑල් හෑගොඩය. මා කලෙකින් ඔහු දැක නැත. කුඩා කාලයේ ඔහු දැක අඳුරු ඡායා මනසේ ඇත. බම්බලපිටියේ ෆොටෝක්‍රෝම් එක මට කොළඹ ගැන කුඩා කාලයේ ඇති සුන්දරම මතකයන්ගෙන් එකකි.
ඔය කෙසේ වෙතත් මා කියන්නට සැරසුණේ වෙනත් කතාවකි. පත්තර රස්සාව ආරම්භ කළ මුල් කාලයේ දී පමණක් නොව කුඩා කාලයේදීත් මා සිත්ගත් චරිතවලින් එකක් වූයේ මාර්ටින් වික්‍රමසිංහය. එයින්ද පත්තර රස්සාව ආරම්භ කළ කාලයේ පාසලේ ජ්‍යෙෂ්ඨයකු වූ පාසල් කාලයේදී අපට දිරවන්නෙම නැති චරිතයක් වූ ගායන් Gayan Madushanka සමඟ එහෙ මෙහෙ ඇවිදින්නට ලැබිණි. ඔහු ඒ කාලයේ කැලණි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේය. දැන් ඔහු කැලණියේ කථිකාචාර්යවරයෙකි. ඔහු මට ඒ කාලයේදී මාර්ටින වික්‍රමසිංහ පත්තර රස්සාව ගැන කියූ කතා කියවීය. ඒවා හරි සුන්දරය. ඉකුත් සැප්තැම්බරයේදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් කීපයක්ම මිලදී ගත්තේය. වෙනත් වැඩකට වික්‍රමසිංහයන්ගේම පොත් කීපයක් සොයමින් සිටියදී මිලදී ගත් එහෙත් මට කියවන්නට නොලැබුණු පොතක් හමුවිණි. ඒ පොත කියවන්නට ආරම්භ කළේ ඔහුගේ අපූර්ව බාසාව ගැන මහත් තෘප්තියක්ද ඇති කරගනිමිනි. එය මා විසින් ඇති කරගනු ලැබුවක් නොව ඔහුගේ බාසා රටාව නිසා ඇති වුණු තෘප්තියකි.
කොහොම වුණත් අපට මේ රට හදන්නට බැරි බව නම් සක්සුදක් සේ පැහැදිලිය. මාර්ටින් වික්‍රමසිංහ ඒ කාලයේ ලංකාව ගැන ලියා තිබෙන දේවල් ගැන බලද්දි නිදහසින් අවුරුදු 71 ක් ගෙවී තිබියදීත් අප ඉන්නා තැන සහ සිටි තැන බලද්දි රට හදන්නට බැරි බව නම් පැහැදිලිය. එහෙත් එසේ නොවී රට හැදෙනවා නම් කැමැති වුවත් එය බොහෝ දුර ඈතක තිබෙන සිහිනයක් බව පැහැදිලිය. වික්‍රමසිංහයන් 1971 වසරේදී පැරැණි ලංකාදීපයට හරි අපූරු ලිපියක් ලියා තිබේ. එහි හෙඩිම ‘ස්වාධීන ඉන්දියාව සහ අනුකාරක ලංකාව’ යනුවෙනි. අපි ඇල්පෙනිත්තක් නොනිපදවන රටකි. එදත් එසේය. අදත් එසේය. හෙටවත් වෙනසක් වේවිද ?

ඡායාරූපය - දේශය පුවත්පත





Wednesday, January 30, 2019

ක්‍රිකට්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ලසිත් මාලිංග හා ඇන්ජෙලෝ මැතිව්ස් හමු වූ බව කියමින් ඡායාරූප දෙකක් පළ කර තිබිණි. ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ බව ද කියා තිබිණි. ඒ අතරවාරයේදී තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට ලිපියක් ද ලියා ඇත.
තිසර පෙරේරා නොකියා කියන්නේ ලසිත් මාලිංග සමඟ කරන්නට බැරි බවය. ක්‍රීඩා අමාත්‍යවරයා යමක් කළ හැකි දේශපාලනඥයකු ලෙස නමක් දිනාගත්තෙකි. මේ ඔහුට චරිත සහතිකයක් නොවන අතර ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් අපට චරිත සහතිකදෙන්නට බැරි බව ද නොරහසකි. එහෙත් පසුගිය වසර කිහිපයේ දේශපාලන ක්ෂේත්‍රය දෙස බැලීමේදී හරීන් ප්‍රනාන්දු යනු ප්‍රගතියක් පෙන්නුම් කළ අයෙකි. එහෙත් හැමෝගේම කිල්ලෝටවල හුණු තිබෙන බව අමතක නොකළ යුතුයි.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඡායාරූප දෙකක් පළ කර තිබේ. ඔහු ලසිත් මාලිංග හා මැතිව්ස් හමු වූයේ එකම වේලාවේද යන්න නොදනී. කෙසේ නමුත් වැඬේ වැරැදිය. අප කවුරුවත් දන්නා පරිදි පසුගිය වසර දෙක තුනක කාලයේදී අපට හරි කණ්ඩායමක් නොතිබිණි. දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටියත් අපට කණ්ඩායමක් නැත. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කරන 11ක් නැත. එය පිටියේදීත් පිටියෙන් පිටතදීත් බොහෝ අවස්ථාවලදීත් දැකගන්නට මෙන්ම දැනගන්නට ද ලැබිණි.
මීට දින කිහිපයකට කලින් රාජකාරි කටයුත්තකට ගිය අවස්ථාවකදී එහි සේවකයන් සමඟ කතාකරන්නට ලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරයක් සඳහා ගිය විට ක්‍රීඩකයන් සංචාරය නිම වී පැමිණෙන්නේ වෙන වෙන යැයි එහි සේවකයෝ අපි සමඟ කීහ.
“ඉස්සර නං එහෙම නෑ. ටීම් එක එකට ගියාම එන්නේ එකට. ඒකට දැන්. කට්ටිය එකට ගියාට එන්නේ වෙන වෙනම. ඔහොම කොහොමද මැච් දිනන්නේ. ඉස්සර නං හරි ලස්සනයි. කට්ටිය මැච් දින්නත් පැරැදුණත් ගියේ එකට. ආවේ එකට. හරි ලස්සනයි. එළියේදී ඔහොම නං ග්‍රවුන්ඞ් එකෙත් ඔහොම ඇති” ඔවුහු කීහ. ඔවුන්ගේ කතාවල වරදක් නැත.
අපට දක්ෂයන් සිටියත් බොහෝ අවස්ථාවලදී කණ්ඩායමක් ලෙස ක්‍රීඩා නොකිරීම තරග පරාජයට ප්‍රධාන හේත-ුවක් විය. එවැනි අවස්ථාවකදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙන වෙනම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු හමු වීම නොකළ යුතුව තිබුණකි. ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා හමු වී එකට කතා කළා නං මීට වඩා හොඳය.


අමතර කතාවකි. සනත් අර පොඩි සෙට් එකට ඇඞ්වයිස් කරන එක මරු. අන්න කෝච්ලා. නැලවිලි නෑ.




ඡායාරූප අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ට්විටර් ගිණුමෙන්

Sunday, January 27, 2019

දේශපාලන ධ්‍රැවීකරණය හා මාධ්‍යයේ හුරුපුරුදු

පළමු කොටස


විවිධ පාර්ශව පුවත් ලබාගැනීමේදී නරඹන නාලිකා, කියවන පුවත්පත් , බලන හා සැරිසරන වෙබ් අඩවි එකින් එකට වෙනස් වේ. ස්වාධීන යැයි කිව නොහැකි හෝ එසේ බලාපොරොත්තු විය නොහැකි තත්ත්වලදී මාධ්‍යයේ හැසිරීම මෙන්ම එවැනි අවස්ථාවලදී මාධ්‍ය ඒකපාර්ශවීය වීම නොවැළැක්විය හැකි තත්ත්වයකි. දේශපාලනමය වශයෙන් ධ්‍රැවීකරණය වූ තත්ත්වයකදී එසේත් නැතිනම් එක් පාර්ශවයක්, එක් දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හෝ මතවාදයක් හෝ ශක්තිමත් වූ අවස්ථාවකදී ද එවැනි දෑ සිදුවේ. එවැනි සිදුවීම් අපට පසුගිය සමයේදී දක්නට ලැබිණි.
වර්තාමන දේශපාලන වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයෙත් තවත් බොහෝ රටවලත් මෙම දේශපාලන ධ්‍රැවීකරණය හෙවත් දේශපාලන වශයෙන් දෙකඩ වීම දක්නට ලැබේ. මත එනම් දේශපාලන ධ්‍රැවීකරණය (දෙකඩ වීම ( Polarization) (මතවාදී පරස්පර බව)) තුළ මාධ්‍යයේ හැසිරීම විශේෂයෙන් අවධාරණය කළ යුත්තකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘පිව්’ ( Pew Research Center ) පර්යේෂණ මධ්‍යස්ථානය 2014 වසරේදී අධ්‍යයනයක් සිදු කර තිබිණි. දේශපාලන ධ්‍රැවීකරණය සහ මාධ්‍යයේ හුරුපුරුදු යනුවෙන් එය නම් කර තිබිණි. මේ එහි පරිවර්තනයයි.
......
දේශපාලනය සහ ආණ්ඩුව සම්බන්ධයෙන් පුවත් ලබාගැනීමේදී නිදහස් සහ මධ්‍යස්ථ සහ කන්සර්වේටිව් පිරිස් ජීවත් වන්නේ ලෝක දෙකකය. පුවත් ලබාගැනීමේදී සහ ඔවුන්ගේ විශ්වාසය අනුව එම පුවත් මූලාශ්‍රවල සුළු සමානකම් දැකිය හැකිය. අන්තර්ජාලය තුළ දී හෝ මිතුරන් සමඟ දේශපාලනය සාකච්ඡා කිරීමේදී තමන් හා සමාන අදහස් දරන එසේත් නැතිනම් එකම තත්ත්වයක සිටින එකම මතවාදයක් දරන පිරිස් සමඟ එසේ දේශපාලනය සාකච්ඡා කිරීමට කැමැති බව මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන ධ්‍රැවීකරණය පාර්ශව දෙකකට කැඩීම සම්බන්ධයෙන් කරන ලද මෙම අධ්‍යයනය සම්පූර්ණ වසරක් මුළුල්ලේ කරන ලද ව්‍යාපෘතියකි. මෙහිදි ජනතාව ආණ්ඩුව සහ දේශපාලනය පිළිබඳ තොරතුරු ලබාගන්නා විවිධ ක්‍රම තුනක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කර තිබේ. පුවත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ මිනිසුන් තම මිතුරන් සහ පවුලේ උදවිය/සාමාජිකයන් සමඟ දේශපාලනය පිළිබඳ කතාබහ කිරීම යනාදිය එම ක්‍රමවේද තුනයි.
මෙම සෑම ක්‍රමවේදයකදීම වම සහ දකුණ පිළිබඳව වෙනස් නොවන මතවාදයක් තිබෙන සියලු දෙනාගේ පුවත් මූලාශ්‍ර විවිධ හා මිශ්‍ර දේශපාලන මතවාද තිබෙන අයගේ පුවත් මූලාශ්‍රවලට වඩා වෙනස් බව අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. එමෙන්ම ඔවුනොවුන් අතර පරතරය ද වැඩිය.
මෙම බෙදීම්/කොටස්වලට කැඩී යෑම් එක දෙක කළ හැකිය. එසේත් නැතිනම් වැඩිකොට දැක්විය හැකිය. වර්තමානයේදී ඇමෙරිකාව තුළ මතවාදී බුබුළක ජීවත්විය නොහැකි බව ද පෙන්වා දී තිබේ. බොහෝ ඇමෙරිකානුවන් බොහෝමයක් විවිධ පුවත් මූලාශ්‍ර මත යැපෙති. දේශපාලන පුවත් ලබාගැනීමේදී එය ප්‍රේක්ෂක/පාඨක/ශ්‍රාවක පිරිස් අනුව වෙනස් වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යස්ථ මතධාරීන් සහ නිදහස් මතධාරීන් දෛනිකව සවන් දෙන්නේ හෝ ඔවුන්ට ඇසෙන්නේ පරප්පර දේශාපලන මත බව ද මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ.

ඡායාරූපය - අන්තර්ජාලයෙනි





Friday, January 18, 2019

විපක්ෂය හා රැවටීම

දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ කාර්යභාරය ඉටු නොකළ බව අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ ද ඒ ආකාරයෙනි. 2015 වසරෙන් පසු මෙරට සැබෑවට විපක්ෂයක් නොවුණු බව පැහැදිලිය.  

අද ද එහි වෙනසක් නැත. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ නිල සංචාරවල නිරත වීමෙන් ඒ බව හොඳින්ම පැහැදිලි වේ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විවේචන තිබුණ ද පසුගිය සමයේදී විපක්ෂයට පාර්ලිමේන්තුවට මෙන්ම පාර්ලිමේන්තුවට වියදම් වන ජනතාවගේ බදු මුදල්වලට වටිනාකම් දුන් පිරිසට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ට යම් ඇගයීමක් හිමිවිය යුතුය. විශේෂයෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කාර්යභාරය ඇගයිය යුතුය. එහෙත් ඔහු ජනතාව අතින් පරාජයට පත්වූවෙකි. ඒ මේ රටේ තත්ත්වයයි.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ගත්තේය. ඔහු පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් එලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්හ. එහෙත් එසේ නොවන බවට ‘අසත්‍යයක්’ සමාජ ගත වී තිබේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධුරය පිළිබඳ අර්බුදය පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ද අනෙක් පිරිස ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා පවා කියා සිටියේය. ජනාධිපතිවරයාගේ පක්ෂයෙන්ම විපක්ෂ නායකවරයා පත්ව තිබේ. පසුගිය සමයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතා කළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දෙනා මෙම කරුණේදී නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය හිමිවිය.
පසුගිය මසක කාලයේදී තහනම් වචනය බවට පත්ව තිබූ ‘පොහොට්ටුව’ එසේත් නැතිනම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් දේශපාලන පිටියේ කරළියට පැමිණ තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයට වඩා දැන් වඩාත් සමීප සමය වන්නේ 2015න් පසු කාලයයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූයේ 2015 ජනවාරි 8 වැනිදාය. එතැන් පටන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා ද තමන්ට ජනතාවගෙන් ලැබුණු ජනවරම අවබෝධ නොකරගත්හ. ඔවුහු ජනතාවට දුන් බොහෝ පොරොන්දු අමතක කළහ. අමතකව ගිය ලෙස හැසිරුණහ. දැනටත් එසේ කරමින් සිටිති.
පසුගිය සිවුවසරක කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ අනෙක් සියලූ දෙනා ද ඔවුන්ගේ කණ්ඩායම් ද බොරු සමාජ ගත කරමින් ජනතාව මුලා කරමින් සිටිති.

පොහොට්ටුවේ ප‍්‍රශ්නය බොරු සමාජ ගත කිරීමේ තවත් එක් තැනකි. 

රටේ ජනතාවගෙන් වැඩි දෙනා එදා වේල ටුවරස් තත්ත්වයක් තිබීමත්, ඔවුන්ගේ පුවත් මූලාශ‍්‍ර මහින්ද රාජපක්ෂ, මෛතී‍්‍රපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, විමල වීරවංශ, සුමන්තිරන්, සම්බන්ධන්, ගම්මන්පිල සහ විග්නේෂ්වරන් වීමත් නිසා මේ රට මේ අගාධයෙන් ගොඩගැනීම පහසු වේ.
ඉහත කී දෙනාටම දේශපාලනයේ නිරත විය හැකිය. එහෙත් ඔවුන් ඔවුන්ටත් අවංක නැති විටෙක දවසේ තුන්වේල ගැන පමණක් සිතන ජනතාවක් සමඟ මේ රට ගැන අලූත් බලාපොරොත්තු තැබිය නොහැකි තරම්ය.

එක් පක්ෂයකින් ඡුන්දය ඉල්ලා ජනතා වරමින් පාර්ලිමේන්තුවට පැමිණීමේ සිට පාර්ලිමේන්තුවේ නොමැති පක්ෂයක සාමාජිකත්වය ගනිමින් පාර්ලිමේන්තුවට පැමිණි පක්ෂයෙන් ඉවත් වීම යන සියල්ල වැරැුදිය. එහෙත් අපි සියලූ දෙනා මේවා දෙස නිහඬව බලා සිටිමු. පසුගිය මාස තුන හතරේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර බල්ලන් ලෙස හැසිරුණු ඇතැම් අය ද නිහඬය. 



ඡායාරූපය ඒ.එෆ්.පී. https://www.facebook.com/photo.php?fbid=10158227111337627&set=a.139276682626&type=3&theater

Friday, November 23, 2018

කවුරුන් කළත් වැරැදි නම් වැරැදිය. හරි නම් හරිය.

මේ රටේ පාලකයන්ගේ දෙබිඩි පිළිවෙත් තේරුම් ගත යුතු බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැරැදි දේ වැරැදි ලෙස දැකීමටත් නිවැරැදි නිවැරැදි ලෙස දැකීමටත් පුරුදු විය යුතු බව අප හැමදාමත් අවධාරණය කළ කරුණකි. තමන් කරන විට හරි වනවිටත් අනෙකා කරන විටදී වැරැදි බව කියන දේශපාලන පිටුදැකිය කළ යුතු බව අපි හැමදාමත් අවධාරණය කළෙමු. මහින්ද රාජපක්ෂ මහතා හරි දෙයක් කළ විට හරිය. වැරැදි නම් වැරැදයි. රනිල් වික්‍රමසිංහට, මෛත්‍රිපාල සිරිසේනට මෙන්ම අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු සියලු දෙනාට එහි වෙනසක් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. වරදක් නැත. පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තුවට කරු ජයසූරිය මහතා පිළිබඳ පැමිණිලි කරන බව ඩලස් අලහප්පෙරුම මහතා කීවේය. වරදක් නැත.

එහෙත් තමන් කරන විට හරි වෙන්නත් තමන් නොකරන විට විරුද්ධ පාර්ශවය කරන විට වැරැදි වන්නටත් ඉඩක් නැත. එසේ නොවිය යුතුය. ජනතාව සත්‍ය තේරුම් ගත යුතුය. කවුරුන් කළත් වැරැදි නම් වැරැදිය. හරි නම් හරිය.




Friday, November 16, 2018

එම සාපයෙන් හෝ මිදෙන්නට උත්සාහ කරන්න




2018.11.16



මෛති‍්‍රපාල සිරිසේන
අතිගරු ජනාධිපති
ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය


ජනාධිපතිතුමනි,

දින ගණනාවක් මුළුල්ලේ පවතින අස්ථාවර, අශ්ශීල, නින්දිත හා කනගාටුදායක තත්ත්වය මධ්‍යයේ මෙසේ ලියන්නට කල්පනා කළෙමි. ලිපිය ලියන්නට සරල බස් වහරක් සහ තාක්ෂණික වචන අඩුවෙන් යොදගන්නටත් මා කල්පනා කළ අතර එය ඔබේත් මගේත් පහසුවට හේතුවනු ඇත. යම්කිසි අවිනිශ්චිත, තේරුම් නොයන කරුණක් ඇති නම්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ඔබේ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක සහ ඔබ වටා සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිත් සේ අර්ථකතන දෙන නීති විශාරදයන්ගෙන් අර්ථකතන ගෙන තේරුම් ගන්නැයි ඉල්ලා සිටිමි.

මීට සති තුනකට පෙර ඔක්තෝබර් 26 වැනිදා සිකුරාදා පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයේ පිහිටුවීමට ඔබ කටයුතු කළේය. ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව මෙන්ම සදාචාර සම්පන්න ලෙසද එය වැරැුදි කි‍්‍රයාවක් බව ඔබත්, ඔබ වටා සිටින ඔබට උපදෙස් දෙන සියලූ දෙනාත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායමේ සියල්ලෝමත් දන්නා බව රහසක් නොවේ. එය තමන් තමන්ගේ හෘදය සාක්ෂිය විසින්ම පවසනු ඇත. කෙසේ නමුත් ඔබත් ඉහත කී කිසිවකුත් එය පිළිනොගන්නා බව මම දනිමි. ඔබ හෝ ඉහත කී කිසිවකුවත් එය ප‍්‍රසිද්ධියේ නොපවසන බව ද මම දනිමි. මම පමණක් නොවන තවත් බොහෝ දෙනා එය සක් සුදක් සේ දනිමි.

ඔබ රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරන්නේ ඔහුත් සමඟ තිබෙන පෞද්ගලික අමනාපයක් නිසා බව දැන් හොඳින් පැහැදිලිය. ඔබ ඔහුට පෞද්ගලිකව අගමැති වූ පමණින් සිතු සිතූ පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ නොහැක. ඔබට අවශ්‍ය වෙලාවට අගමැතිවරයා ඉවත් කිරීමටත් අගමැතිවරයකු පත් කිරීමටත් නොහැක. ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක් ඇත. මෙය ලියන මම කිසිදු අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයට ඡුන්දය ප‍්‍රකාශ කර නොමැති අතර එම පක්ෂයේ පාක්ෂිකයකු හෝ රනිල් වික‍්‍රමසිංහවාදියකු ද නොවේ. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයකු පත් කරන ආකාරය මෙන්ම ඉවත් කරන ආකාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත. අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ පමණින් කැබිනට් මණ්ඩලය විසිරී යන්නේ නැත. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය සහ අනෙකුත් පක්ෂ එකතු වීමෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන අතර වත්මන් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය. එසේත් නැතිනම් එක්සත් ජාතික පෙරමුණටය. ජාතික ආණ්ඩුව නිර්මාණය වන්නේ ඒ අනුවය. එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය ජාතික ආණ්ඩුවේ පාර්ශවකරුවෝ වන්නාහ. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ පමණින් කැබිනට් මණ්ඩලය හෝ ජාතික ආණ්ඩුව විසිරී යන්නේ නැත.

මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සිට ඔබ ගන්නා ලද කි‍්‍රයාමාර්ග සියල්ලම වැරැුදියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණිය. අනීතිකය. සදාචාර විරෝධීය.

මට මහින්ද රාජපක්ෂ සමඟ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැත. තිස් වසරක යුද්ධය අවසන් කිරීමේදී ඔහුගේ දේශපාලන නායකත්වය අගය කළ යුතුය රතන ස්වාමීන් වහන්සේ සහ ජනතා විමුක්ති පෙරමුණ යුද වදිමි යැයි කීවට මහින්ද රාජපක්ෂ මහතා යුද්ද කරන්නේ ලබ්බෙන්ද ඇසූ බව දේශපාලන සමාජයේ පවතින ප‍්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා, සරත් ෆොන්සේකා නැමැති හමුදාපතිවරයා, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ විපක්ෂය, මෙරට ජනතාව සහ මෙරට ති‍්‍රවිධ හමුදාව සිවිල් යුද්ධය, යුදමය වශයෙන් අවසන් කළේය. එහි ගෞරවය එම වකවානුවේදී මෙරට ජීවත් වූ සෑම පුරවැසියකුටම, කුඩා දරුවකුටම සහ මවුවරුන්ගේ ගර්භාෂවල සිටි එකිනොකී සියලූ දෙනාට හිමිවිය යුතුය. එහෙත් එයින් වඩාත් ඉදිරියට පැමිණෙන්නේත් කීර්තියට පත්වන්නේත් දේශපාලන නායක්තවයයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සන්නාමයක් බවට පත්වෙන්නේ එතැන් සිටය. අදටත් ඔහු ශ්‍රී ලංකාවේ ජනපි‍්‍රයතම දේශපාලනඥයා වන්නේය. අනුසහ් ඇති නායකයා වන්නේය. සිවිල් යුද්ධය යුදමය අවසන් කිරීමේ ගෞරවය මෙන්ම රට තුළ ධනාත්මක, ස්ථාවර සහ තිරසර සාමයක් ඇති කරමින් රට සංවර්ධනය කරා ගෙන යෑමට මහින්ද රාජපක්ෂ මහතාට ස්වරණමය අවස්ථාවක් හිමිව තිබිණි. එහෙත් ඔහුත් ඔහුගේ කි‍්‍රයාමාර්ගත් නිසා ඔහුගේ දෙවැනි ධුර කාලයේ ඔහුට හිතැති බොහෝ දෙනාගෙන්ම ඔහුට විරෝධය එල්ල වන්නට විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තම දෙවැනි ධුර කාලයේ වසර දෙකක් තිබියදීම ජනාධිපති ධුරයෙන් ඉවත් ව යෑමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔබ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්විය. ඔබට ඡුන්දය දුන් මම ද ඇතුළු සමස්ත ජනතාව එසේ ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ ලද්දේ ඔබට ඇති කැමැත්තක් නිසා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී, විශේෂයෙන්ම දෙවැනි ධුර කාලයේ අවසන් සමයේදී සිදු වූ විනාශයට විරෝධය පළ කිරීමක් ලෙසය. අනෙක් අතට එය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වීමක්, දේශපාලන ප‍්‍රතිපත්ති සම්බන්ධ කාරණාවකි. අදටත් මහින්ද රාජපක්ෂ මහතා යනු මගේ පෞද්ගලික පි‍්‍රයතාව ඇති දේශපාලනඥයෙකි. ඔහුත් සමඟ මට කිසිදු පෞද්ගලික අමනාපයක් හෝ වෛරයක් නොමැත.

හැට දෙලක්ෂයක් ජනතාව ජනවාරි 8 වැනිදා ඔබට ඡුන්දය දුන්නේ ප‍්‍රතිසංස්කරණ කරමින්, යහ සමාජයක්, සාධාරණ සමාජයක්, යහපාලනයක් ගෙන එමින් යහපත් රටක් ඇති කිරීමට අඩිතාලම දැමීමටය. පසුගිය වසර තුනක කාලයේදී ජනතාවගේ කුසට දැනෙන යමක් සිදු නොවූවද රටේ අනාගතයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට හේතුවන අණ පනත් කිහිපයක්ම සම්මත වූ බව සිහිපත් කළ යුතුය. කෙසේ නමුත් ඔබත්, රනිල් වික‍්‍රමසිංහ මහතාත් 2015 වසරේ ජනවාරි 9 වැනිදා සිටම ජනවරමට පිටුපාමින් කටයුතු කළ බව සිහිපත් කළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මහ බැංකුවේ වංචා ¥ෂණ සිදු වූ බව නොරහසකි. බැඳුම්කර වංචා සිදු වූ බව නොරහසකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දිනෙන් පසුත් එම කි‍්‍රයා අඛණ්ඩව සිදුවිය විය. අද එක්සත් ජාතික පක්ෂය පසුපස එන්නේ එම කරුමයයි.

‘සිරිසේනxවික‍්‍රමසිංහ’ ජාතික ආණ්ඩුව කරන ලද සෑම හොඳ, රටට හිතකර යහපත් කි‍්‍රයාවකම ගෞරව ඔබ දෙපළට හිමිවිය යුතුය. ඒ පිළිබඳව විවාදයක් නොමැත. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙසත්, රටේ නායකයා ලෙසත් වැරැුදි තීරණ සියල්ලේ වගකීම ද ඔබ ඇතුළු එම ආණ්ඩුවේ සියලූ දෙනාම බාර ගත යුතුය. එයින් බැහැර වීමට ඔබට කිසිසේත්ම නොහැකිය. මේ කරුණු සියල්ල මධ්‍යයේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ඔබ ගන්නා ලද තීරණය මේ රට අර්බුදයෙන් අර්බුදයකට ඇද දැමීය. පසුගිය දින දෙකක කාලයේදී පාර්ලිමේන්තුවේ හැසිරීම ලැජ්ජා සහගතය. නින්දිතය. අශීලාචාරය. මේ තීරණය වෙමින් තිබෙන්නේ ඔබේ අනාගතය නොව අපේ අනාගතය බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මහින්ද රාජපක්ෂ මහතා ජනතා ඡුන්දයෙන් හෝ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් රටේ අගමැති ධුරයට පත්වන්නේ ද එසේ විය යුතුය. ඒ පිළිබඳව මගේ කිසිදු විරෝධයක් නැත. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ දෙනාගේ කැමැත්ත ද එයයි. මහින්ද රාජපක්ෂ මහතා නොව, පාර්ලිමේන්තුවේ වෙනත්  ඕනෑම අයකුට වුවද අග‍්‍රාමාත්‍ය ධුරයට පත්විය හැකි නමුත් ඒ සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත ක‍්‍රමවේදයක් තිබේ. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයකු ඉවත් කරන්නේ ද පත් කරන්නේ ද යන්න තීරණය කළ යුතු ක‍්‍රමවේදයක් තිබේ. පෞද්ගලික අමනාපකම් මැද අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හෝ පත්කිරීමට ඔබට හැකියාවක් නැත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ ගත් තීරණය ද වැරැුදිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණිය. නීතිවිරෝධීය. සදාචාර විරෝධීය. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූයේ මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධව නොව අනීතික, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා සදාචාර විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධවය. පසුගිය සති තුනක කාලයේදී ඔබ ගන්නා ලද තීරණ නිසා මේ රට අවුලෙන් අවුලට පත්ව ඇත.

නිසි ක‍්‍රමවේදවලට අනුව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණයක් පැවැත්වීමට මමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරනු කිසිවකුත් විරුද්ධ නැත. අනෙක් අතට මේ රටේ සර්ව සුබ, සර්ව සම්පූර්ණ හා පාරිශුද්ධ දේශපාලනඥයන් නැත. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා නිසි ක‍්‍රමවේදවලට අනුව අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන අපට ගැටලූවක් නැත.
දැන් ලියන්නට තිබෙන්නේ හොඳම හරියයි. එය කෙටියෙනුත්, සරලවත් ලියා තබමි. මේ ලිපිය ලියන අද වනවිට මගේ වයස අවුරුදු 25කුත් මාස 7කුත් දින කිහිපයක් ගෙවී ගොසිනි. අපි රාජ්‍ය සේවය, සෞඛ්‍ය, අධ්‍යාපන, පොදු ප‍්‍රවාහනය යනාදි සියල්ලේ සිටම කලකිරීමට පත්ව ඇති ජාතියක් වන්නෙමු.  රටේ සියලූ ක්ෂේත‍්‍ර වලපල්ලට ගොසිනි. මේ රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාව රට පිළිබඳව, රටේ රාජ්‍ය සේවය ඇතුළු සියලූ ක්ෂේත‍්‍ර පිළිබඳව කලකිරීමට පත්ව සිටිමු. එසේ තිබියදී වුවද අපි යහපත් රටක් ගැන බලාපොරොත්තු තබා සිටිමු. රටට ආදරය කරමු. රට ගැන අපට තිබෙන කලකිරීමට පක්ෂ විපක්ෂ භේදයක් නැත. ආගම්, කුල, මල භේදයක් නැත. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මේ රටින් පිටවීමය. ආසියානු පවුල් පසුබිම තුළ අම්මා තාත්තා හා ආදරණීයයන් අත්හැර යාම පිළිබඳ ප‍්‍රශ්නය නොවන්නට මේ රටේ තරුණ ප‍්‍රජාවගෙන් වැඩි දෙනා මේ රටින් නික්ම ගොසිනි. අනෙක් අතට සාමාන්‍ය පුරවැසියකුට විදේශ ගත වීම ද සුළු පටු නොවේ. එවැනි තත්ත්වයක් තුළ මැති ඇමැතිවරු කැස්සට හෙම්බිරිස්සාවට ද හිටි හැටියේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් යති.

අද විනාශයෙන් විනාශයට ගමන් කරමින් තිබේ. එකී විනාශය ඉක්මන් කිරීම සඳහා ඔබ පාර පෙන්වා ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අවසන් භාගයේදී වේගයෙන් ද සිරිසේනxවික‍්‍රමසිංහ සමයේදී නැවතත් වේගයෙන් ද රට වළපල්ලට යමින් තිබේ. අද ඔබ ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රී‍්‍රවරුන් 225 දෙනා සහ ප‍්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාව දක්වාත් රාජ්‍ය නිලධාරීනුත් ලැජ්ජා සහගත ලෙස සෙල්ලම් කරමින් සිටින්නේ අපේ අනාගතය සමඟය. අපට පසු පරම්පරාවල අනාගතය සමඟය. මේ රටේ නූපන් පරම්පරාවල අනාගතය සමඟය. අපි ඔබ ගැන අපි ගැනත් ලැජ්ජා විමු. අපට පෙර පරම්පරාවල නිහඬ බව සහ මුග්ධ බව නිසා අද අපට මෙවැනි රටක් උරුම වී තිබේ. එසේ විනාශයට පත් වූ රටක ද වුවද අපි ආදරය කරන්නේ තුවාල සුවපත් කරගැනීමට හැකියාවක් තිබෙන නිසාය. අපි ජීවත් වන්නේ පුස්තකාලයකට ගිනි තැබූ රටකය. ආගමික ස්ථානවලට බෝම්බ ගැසූ රටකය. මේ සියල්ලට හේතුව පාලකයන් සහ නිහඬ හා මුග්ධ වැඩිහිටි පරම්පරාවල හැසිරීමය. පාලකයන්ගේ කැලෑ පාලනයේ ප‍්‍රතිඵලය. එහි ප‍්‍රතිඵල ලෙස ආවේගශීලි තරුණයන්ගේ කැලෑ හැසිරීමය.

මෙවැනි තත්ත්වයක් මැද මේ අර්බුදය කඩිනමින් විසඳන්නැයි මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තරුණයන්ගේ කැලෑ හැසිරීමකට ඉඩ නොතබන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුවත්, නීතිගරුක් ලෙසත් සදාචාර සම්පන්න ලෙසත් මෙම අර්බුදය විසඳා ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පවත්වන්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

අප නැතත්, නූපන් පරම්පරා අපටත් ඔබටත් අප සියලූ දෙනාගේ හත්මුතු පරම්පරාවලටත් සාප කරනු ඇත. මට නම් නූපන් පරම්පරාවලට සාපයට ගොදුරු වීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. අපේ සාපයට ගොදුරු වී ඇති ඔබත් ඇත-ුළු සියලූ දෙනා අවම තරමේ එම සාපයෙන් හෝ මිදෙන්නට උත්සාහ කරන්න.


ස්තූතියි.

අන්තර්ජාල ලිපියක් බැවින් අස්සන් අනවශයයි.

මෙය දෙවරක් කියවා නැත. ව්‍යාකාරණ දෝෂ ඇතුළු දෝෂ තිබිය හැකිය.

හර්ෂණ තුෂාර සිල්වා
මාධ්‍යවේදී/ශිෂ්‍ය
ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගෞරව කරන තරුණ පුරවැසි
2018.11.16

පිටපත්
රනිල් වික‍්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ

ඡායාරූපය - රොයිටර්


Friday, November 9, 2018

වත්මන් දේශපාලන අර්බුදය පෞද්ගලික හෝ පක්ෂ පාට හෝ කවුරුන්ද අගමැති යන වග හෝ පිළිබඳව ගැටලුවක් නොවන බව නැවත නැවතත් සිහිපත් කළ යුතුව ඇත. මහින්ද රාජපක්ෂ මහත අගමැති ධුරය හෙබවුවද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හෙබවුවද වෙනයම් අයෙක් අගමැති ධුරය හෙබවුවද එසේ ධුරය දැරිය යුත්තේ නිශ්චිත ක්‍රමවේදවලට අනුව. සරලවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදනවලට අනුවය. ඒ නිසා මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව කිසි ලෙසකින්වත් සාධාරණීය නොකළ යුතුය. ජනාධිපතිවරයාගේ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සාමාන්‍යකරණය කිරීමෙන් සහ සාධාරණීයකරණය කිරීමෙන් අනාතගයේදී මීට වඩා අනුට විපකා විඳින්නට සිදුවනු ඇත. ඒවා අදට වඩා බෙහෙවින් දරුණු වනු ඇත. එ නිසා මේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව විරෝධයට පළ කළ යුතුය.
එක් වතාවකදී නොව පිට, මසකටත් අඩු කාලයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බරපතළ අයුරින්, මෙතෙක් නොවූ අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා කටයුතු කරමින් අනාගතයට වැරැදි පූර්වාදර්ශ ලබා දී තිබෙන අතර කිසිදු අයුරකින් මෙම වැරැදි නිවැරැදි නොවන බව සියලු පාර්ශව සිහි තබා ගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ අවස්ථාවේදී ඔහුගේ පාක්ෂිකයන්, ආධාරකරුවන් බොහෝ දෙනා සතුටට පත්වූහ. රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති කළේ නම් ඔහුගේ පාක්ෂිකයන් එසේ සතුටට පත්වනු ඇත. එහෙත් එම පාර්ශව දෙක මෙන්ම අප ඇතුළු අන් සියලු දෙනාම තේරුම් ගත යුතු කරුණ වනුයේ මේ රටේ වැරැදි වනවිටදී වැරැදි යැයි පසුබට නොවිය යුතුය යන්නයි. බලය වෙනුවෙන් සහ තමන් නිවැරැදි යැයි සනාථ කිරීමෙන් මහින්ද රාපජක්ෂ පාර්ශව සහ එම පාක්ෂිකයන් වරද වරදක් නැති බව කියන්නට වූහ. එහෙත් අවසානයේදී ඔවුන්ගේ සතුට තාවකාලික සතුටක් බවට පත්විය. එම නිසා මේ රටේ ජනතාව පක්ෂ පාට ආදී ඕනෑම භේදයකින් තොරව නිවැරැදි දේ නිවැරැදි ලෙස දකින්නටත් වැරැදි දේ වැරැදි දේ ලෙසත් දකින්නට හුරු පුරුදු විය යුතුය.

Monday, November 5, 2018

ජනාධිපතිතුමනි, ලැජ්ජයි

ජනාධිපතිවරයා අද (5) පැවැති රැලියේදී කරන ලද කතාවත් පසුගිය දිනෙක කරන ලද විශේෂ ප්‍රකාශයත් කිසිසේත්ම ජනාධිපතිවරයකුට සුදුසු නොවේ. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පසුගිය දින 10කට සීමා නොකළ යුතු නමුත් පසුගිය දින දහයක ඔහු හැසිරුණු ආකාරය සහ කරන ලද ප්‍රකාශ ඔහුගේ නොහැකියාව, කැබිනට් මණ්ඩලය තුළ තීරණ ගැනීමට ඇති නොහැකියාව, අශිෂ්ඨ හා අශීලාචාර බව පෙන්නුම් කරන්නක් බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මහතා සහ එම කැබිනට් මණ්ඩලය ගන්නා ලද නිවැරැදි තීරණ සියල්ලේම සහ වැරැදි අහිතකර තීරණ සියල්ලේ වගකීම ද ඔවුන් සියලු දෙනා බාරගත යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා හෝ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම වැරැදි තීරණ ගන්නා විට ඒවා නවතන්නට හැකියාවක් නොතිබූ බව ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටී. 


ජනාධිපතිවරයා අද කරන කතාව ලැජ්ජා සහගතය. අශීලාචාරය. අශිෂ්ඨය. ඕනෑම ශීලාචාර සමාජයක අනෙකාගේ ලිංගික රුචිකත්වය, ජාතිය, ආගම, පෞද්ගලික රුචි අරුචිකම් එලෙස හෑල්ලුවට ලක් කිරීම කිසිදු ශිෂ්ඨ සම්පන්න මිනිසකුට සුදුසු නොවේ. ජනාධිපතිවරයා දිගින් දිගටම තමන්ගේ නොහැකියාවට අමතරව අශිෂ්ඨ හා අශීලාචාරකම පෙන්වමින් සිටින්නේය. ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ යන ධුරයෙන් නෙරපා දමන ලද අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම 2015 ජනවාරි 8 වැනිදා සිට ඔවුන්ට ජනතාව දුන් ජන වරම හෑල්ලුවට ලක් කළේය. ඔවුන් දෙදෙනාම තමන්ට ජනතාව ඡන්දය කුමටදැයි අමතක කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දැන් එහි ප්‍රති විපාක විඳිමින් සිටින අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ද නුදුරේදීම එහි ප්‍රති විපාක විඳීමට සිදුවනු ඇත. මීට වසර තුනකට පෙර එනම් 2015 වසරේ ජනවාරි 8 වැනිදා ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතාට හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ ඔහුට ඇති කැමැත්තට නොව මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ද ජන වරමට පිටුපා කටයුතු කරන්නට වීමට හේතු කරගෙනය.

මේ රට ඉදිරියට ගෙන යෑමේ අගනා අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී නැති කරගත්තේය. යුද්ධය අවසන් කළාක් මෙන්ම සාමය සහ සංහිඳියාව ගෙන එමින් රට සංවර්ධනය කරා ගෙන යෑමේ අති දුර්ලභ අවස්ථාවක් සහ ජන ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි ව තිබිණි. ඔහුත් ඔහු වටා සිටි පැවැත්මක් නොමැති බලලෝභී දේශපාලකයන් නිසාත් හරි දේ හරි යැයි කීමටත් වැරැදි දේ වැරැදි යැයි කීමටත් නොහැකි පාක්ෂිකයන් හා අනුගාමිකයන් නිසාත් රටට එම අවස්ථාව අහිමි වී ගියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසන් සමයේදී රට වේගයෙන් වළ පල්ලට ගමන් කරමින් තිබූ අතර යමක් හරියට කර ගැනීමට නොහැකි වූ සිරිසේන වික්‍රමසිංහ කාලයේදී රට සෙමෙන් වළපල්ලට ගියේය. එසේ යමින් වුවද බඩට නොදැනුන නමුත් යම් යම් සාධනීය, අනාගත අභිවෘද්ධියට හේතු වන වෙනස්කම් කිහිපයක් කිරීමටත් ආර්ථිකය යම් ස්ථාවර තැනකට ගෙන ඒමටත් එම ආණ්ඩුව සමත් විය. එහෙත් ඔවුහු කිරි කළයට ගොම වක් කර ගත්හ. ජනවරමට පිටුපෑ මෛත්‍රි ජනාධිපතිවරයාත් රනිල් අග්‍රාමාත්‍යවරයාත් එම ආණ්ඩුවත් ඊට වගකිව යුතුය.

අනෙක් අතට එවැනි තත්ත්වයක් මත ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් මෛත්‍රි ජනාධිපතිවරයා රටේ ජනතාවටත්, රටටත්, ජාත්‍යන්තරය ඉදිරියේ රටත් මහා අගාධයට ඇඳ දමා ඇත. ගැටලුව ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීම නොව ඒ සඳහා භාවිත කළ නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි ක්‍රමවේදයයි. මෙය නරක පූර්වාදර්ශයකි. රටක නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනාදිය සෑම විටම පූර්වාදර්ශ මත කටයුතු කරන පද්ධතිය. එවැනි තත්ත්වයක මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා පිළිවෙත සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ යුතුය. ජනතාවට හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයකට මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතු නම් ඒ සඳහා තිබෙන නෛතික නිශ්චිත ක්‍රමවේද භාවිත කළ හැකිය. ඒ ගැන අපට කිසිදු විවාදයක් හෝ ගැටලුවක් නැත. පාර්ලිමේන්තුවේ බැරි නම් රටේ මහජන මුදල් විනාශ නොකර සියලු පක්ෂ පොදු තීරණයක් ගෙන රටේ අගමැතිවරයා තෝරා පත් කරගැනීමට ජනතාවට ඉඩ දිය යුතුය. එහෙත් ජනාධිපතිවරයාගේ මෙම අශිෂ්ඨ, අශීලාචාර, ප්‍රජාතන්ත්‍ර විරෝධි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි, නීති විරෝධි ක්‍රියා පිළිවෙත පරාජයට පත් කළ යුතුය. ජනාධිපතිතුමනි ලැජ්ජයි.


ඡායාරූපය ළහිරු හර්ෂණ 
https://www.facebook.com/photo.php?fbid=1950903035029359&set=a.122297774556570&type=3&theater

Wednesday, October 31, 2018

ජාත්‍යන්තර පිළිගැනීම නැතිව පුළුවන් ද ?


වත්මන් ගෝලීය දේශාපලන, ආර්ථික, සමාජ හා ආරක්ෂක පසුබිම තුළ කිසිදු රටකට තනි පැවැත්මක් නැත. ලෝක බලවතුන් වන ඇමෙරිකාවට හෝ චීනයට හෝ වේවා එහි වෙනසක් නැත. ලෝක බලවතුන් වන එම රටවලට ද තනිව ගමනක් යා නොහැක. එවැනි තත්ත්වයක් තුළ ගෝලීය බල කේන්ද්‍රයේ සුවිශේෂී භූගෝලීය ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව දෙස ගෝලීය බලවතුන් විශේෂයෙන්ම ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව උකුසු ඇස් යොමා සිටිති.

ශ්‍රී ලංකාවේ පිහිටීම සහ ශ්‍රී ලංකාව තුළ තමන්ට හිතවත් පාලකයකු සිටීම මේ රටවල් තුනටම අතිශයින් වැදගත් වේ. රටක් ලෙස අප එම රටවල් තුන සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම වැදගත් වේ. එමෙන්ම රටවල් තුන සම්බන්ධයෙන් සමබර එක් රටකට අති විශේෂයක් නොකරන විදෙස් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ද එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පසුගිය සිකුරාදා, එනම් ඔක්තෝබර් මස 26 වැනිදාය. ආසන්න වශයෙන් ඔක්තෝබර්  (31) වනවිට දවස් හයක් ගෙවී තිබුණත් කිසිදු රටක් අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර නැත. එය සැලකිය යුතු තත්ත්වයකි. 

ඕනෑම රටකට ජාත්‍යන්තර හඳුනාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ජාත්‍යන්තර පිළිගැනීම අත්‍යවශ්‍ය කරුණකි. රටක දේශාපලන නායකයන් විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනා ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්විය යුතුය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තරයේ ඉදිරියේ පරාජයට පත්වීමටත් ශ්‍රී ලංකාවට එය ජාත්‍යන්තරය ඉදිරියේ වාසියක් වීමටත් හේතුවක් මෙම ‘ජාත්‍යන්තර පිළිගැනීම’ යන සාධකයයි. ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ සංවිධානය පිළි නොගත් අතර එකම රටක් තුළ විසඳුම් සෙවිය යුතු බව පෙන්වා දුන්නේය. එල්.ටී.ටී.ඊ යේ අවශ්‍යතා සහ ඔවුන්ගේ වෙනම රටක්, නැතිනම් ‘ඊලාම්’ සිහිනය පිළිගත්තා නම්, ජාත්‍යන්තරය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වේ. එසේ වූවා නම් ලොව තැන් තැන්වල එලෙස කණ්ඩායම් සටන් වදිනු ඇත.

මේ අනුව ජාත්‍යන්තරය තවමත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන නැත. චීනය පමණක් එක් තැනක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යනුවෙන් එක් තැනක සඳහන් කළත් නිශ්චිතව මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික වෙළෙඳපොළවල් වන ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය, රුසියාව, ඉරානය යනාදී රටවල් කිසිවක් මහින්ද රාජපක්ෂ මහතාට මෙතෙක් සුබ පැතුම් කර නැත.

ඔවුන් සියලු දෙනා අවධාරණය කර කියන්නේ පාර්ලිමේන්තුව කැඳවා, බහුතර කැමැත්ත ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට ද මහින්ද රාජපක්ෂ මහතාට ද යන්න තීරණය කරන්නට ඉඩ දෙන ලෙසය. ජාත්‍යන්තරයේ ඉල්ලීම වී ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසය. මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තරය ඉදිරියේ හොඳ නමක් දිනාගත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ඉල්ලීමට කන් නොදීම හෝ එය නොසලකා හැරීම හෝ ඊට සාධනීය පිළිතුරක් ලබා නොදීම හෝ රටට කිසිසේත් හොඳ නැත. බලය, ආරක්ෂාව, ආර්ථිකය යන ප්‍රධාන කරුණු ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකාව යනු කුඩා රටක් වීම ඊට ප්‍රධානතම හේතුවයි.

එම නිසා අප ඉදිරියේ, විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉදිරියේ ඇති වඩාත් හොඳම විකල්පය වනුයේ පාර්ලිමේන්තුව කැඳවීමය. එසේ නොමැතිනම් සියලු පක්ෂ එකඟත්වය ඇතිව, ඡන්ද විමසීමක් පවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. රටේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ වුවද මහින්ද රාජපක්ෂ වුවද මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් නොවිය යුතුය. විශේෂයෙන්ම ලබන වසරේදී සංචාරය කරන්නට හොඳම රට ලෙසින් නම් ලද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛායව ප්‍රමාණවත් නොවන තත්ත්වයකදී ජාත්‍යන්තරය කළු පැල්ලමක් ඇති කරගැනීම දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රටට හිතකර නොවේ.

ඡායාරූපය - රොයිටර්

Monday, October 15, 2018

අපේ එකාත් ඔය කොහේ හරි රටක නවතිනු ඇත.

හැමදාමත් අප කරනුයේ දෙපැත්ත බෙදී තමන් හරි යැයි ද නැතිනම් තමන් කළොත් හරි අනෙකා කළොත් වැරැදිය යන්න කීමට උත්සාහ කිරීමය. අප කවාදවත් පාට කණ්ණාඩි ගලවා, පක්ෂපාතීත්වයෙන් තොරව නිවැරැදි දේ කිරීමට හෝ නිවැරැදි දේ අගය කිරීමට හෝ උත්සාහ ගන්නේ නැත. 

ලංකාවේ තෙල් නිධි ඇති බව සොයාගන්නේ 1960 දශකයේදීය. මා උගත් පාසලේ ශිෂ්‍යයකු, බොක්කෙන්ම කීවොත් මල්ලි කෙනකු රොකට්ටුවක් නිපදවා ඇත. එය ඔහුගේ වෑයෙම් ප්‍රතිඵලයකි. එය පාසල් සිසුවකු නිපදවූ පළමු රොකට්ටුව යැයි තැන තැන කියැවිණි. ඉන් අනතුරුව ඔහු පළමු රොකට්ටුව නිපදවූයේ නැතැයි කියන්නට ඇතැම් අය උත්සුක විය. ඔවුන්ගේ උත්සහාය සාර්ථක විය. වසර 1959 දී එවකට නාලන්දාවේ සිසුවකු වූ පද්මජීව ඇතුළු කණ්ඩායමක් රොකට්ටුවක් නිෂ්පාදනය කරන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පා තබන්නට වසර දහයක් තිබියදීය. අද පද්මජීව ගනේපොල මහාචාර්යවරයෙකි. ඔහු ඇමෙරිකාවේ ජීවත් වෙයි.

වසර 1959 දී රොකට්ටුවක් නිපදවන රටක අද රොකට් තාක්ෂණය තිබිය යුත්තේ කොතැන ද ? හැටේ දශකයේ දී තෙල් නිධි සොයාගන්නා රටක් අද තිබිය යුත්තේ කොතැන ද ? මේ ආකාරයෙන් ලැයිස්තුවක් ලිවිය හැක. අප අප ගැන කනගාටුවට පත්වනු හැරෙන්නට වෙන කුමක් කරන්න ද ?

අපේ රටෙන් බිහි වූ බුද්ධිමතුන්ගෙන් වැඩි දෙනා දැන් ඉන්නේ වෙනත් රටවලය (ලියන මොහොතේ සංඛ්‍යා දත්ත මා සතුව නැත). ඔවුන් ඒ රටවලදී කරන පර්යේෂණ ගැන අලුත් සොයාගැනීම් ගැන එක පැත්තකින් සතුටු වෙමින් තවත් පැත්තකින් හූල්ලමින් සිටිමු. මෙරට ඉතිරි වී සිටින බුද්ධිමතුන්ට තැනක නැත. ඔවුන් කරන අලුත් සොයාගැනීම් ඔවුන්ගේ යෝජනාවලට තැනක් නැත. එසේ නොවන අවස්ථා ඇති නමුත් බොහෝ අවස්ථාවල තත්ත්වය එසේය. ඔවුන්ගේ අදහස් යෝජනා තඹ සතයකට මායිම් කරන්නේ නැත. අපේ එකාත් ඔය කොහේ හරි රටක නවතිනු ඇත.




ඡායාරූප - ෆේස්බුක් 

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive