Wednesday, February 17, 2016

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා, විජය කුමාරතුංග සිටියේ නම්, අද තමන් සමඟ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්නේ යැයි, විජය කුමාරතුංගයන්ගේ ගුණ සමරුව වෙනුවෙන් උත්සවයක් පවත්වමින් පවසයි. එමෙන්ම විධායක ජනපති ධුරය භාවිත කරමින්, තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ බව ද පසුගිය සතියේ කීවේය. ඔහු මේවා සිහි බුද්ධියෙන් කියන නොවන හොඳින්ම පැහැදිලිය.
විජය කුමාරතුංගයන් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන එස්.ඩබි.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ හා සිරිමාවෝ බණ්ඩාරනායකයන්ගේ ඡායාරූප පවා පසුගිය කාලයේදී පක්ෂය සංවිධානය කළ උත්සවවලදී දක්නට නොලැබිණි. විජය කුමාරතුංගයන්ගේ බිරිඳ හිටපු ජනපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගට අනුව, මහින්ද රාජපක්ෂ ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පවා පැමිණ නැත. පසුගිය විජයගේ ගුණානුස්මරණයක් මෙතරම් ඉහළින් පැවැතුණු බවක් ද මතක නැත. 
අද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කොතරම් බංකොළොත්භාවයකට පත්ව ඇත්දැයි මේ සිදුවීම් දෙක මොනවට පැහැදිලි කරයි. හිටපු ජනපතිවරයා වශයෙන් අප සතුව ඔහු කෙරෙහි ගෞරවයක් තිබෙන බව හැබෑය. එහෙත්ම මහින්ද රාජපක්ෂ සමාජයට පෙන්වන තරමේ හෝ මානව හිතවදී ගුණයක් ඔහුගේ පාක්ෂිකයන් සතුව නැති බව නම් සංවාද විවාදවලදී හොඳින් පෙනේ. මේ චෝදනාව බහුතරයකට අදාළය. හොඳින් නැතිනම් නරකින් තමන් හරිය කියන දේ, මහින්ද රාජපක්ෂ පාලනය මෙරට සමාජයට එබ්බ වීය. ඒ මතය ජනතාව අතරට ගෙන ගියේය. අද එහි පල විපාක අද හොඳින්ම අත් දැකීමට අවස්ථාව උදා වී ඇත.
තමන්ට ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශයට පත් කළ විට බොහෝ පිරිස් පටන් ගන්නේ අම්මා අප්පා මතක් කිරීමෙන්ය. තමාගේ දේශපාලනය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ මහින්ද පාර්ශවය හෝ වෙනයම් පාර්ශවයක් වන්නට පුළුවනි. එහෙත් තමාට ප්‍රතිවිරුද්ධ මතයක් දරන පිරිස්ද සිටින බව පිළිගැනීමට බොහෝ දෙනා අකැමැතිය. එය මහත් ඛේදවාචකයකි. මෙය තව තවත් ඉදිරියට මේ රට පත්වන ආගාධය මෙතෙකැයි කීමට නොහැකිය.
අනෙක් කරුණ, මහින්ද රාජපක්ෂ හෝ ඒ හා සමාන පිරිස විවේචනය කිරීමෙන් පමණක් ජනපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකිය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මේ ආණ්ඩුව කරන යහපත් දේ විවේචනය කිරීම හා ඒවා නොකිරීම කණගාටුවට කරුණකි. ආණ්ඩුව විවේචනයට ඕනෑ තරම් කරුණු තිබුණුද පුහු දේශපාලන වාස තකා ඒවා මඟ හරමින්, ජනතාව උසි ගැන්වීම සඳහා කරන නරුම ක්‍රියා රටට සිදු කරන්නේ මහත් ව්‍යසනයකි.
මේ තත්ත්වය මේ රටේ මිනිසුන් තේරුම් ගත යුතුය. එදා වේල නැතිව දුක් විඳින මිනිසුන් අපමණය. තමාගේ දරුවා පාසලකට දමා ගැනීමට අපා දුක් විඳින මාපියන් මහා ගොඩකි. එහෙත් මේ රටේ ජනතාව දේශපාලකයන්ගේ පුහු කතාවලට රැවටී ඊට ප්‍රතිවිරුද්ධ කතා කියන පිරිස් සමඟ ඇණ කොටා ගනිති. මේ රටේ දියුණුව කරා ගෙන යෑමට මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය. එවැනි බුද්ධිමත්කමක් සඳහා උපාධි අවශ්‍ය වන්නේ නැත. එහෙත් සාවධානව අනෙක් පාර්ශව වෙත සවන් දෙමින්, තමන්ට ප්‍රතිවිරුද්ධ මත දරන මිනිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි රටක් උදා කරගැනීමට නම්, අපට විශාල කැප කිරීම ප්‍රමාණයක් සිදු කිරීමට වනු ඇත. 

හර්ෂණ තුෂාර සිල්වා
2016.02.17

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive